slc
logo
Home   |    News
ජූලි 26, 2022
ශ්‍රී ලංකාව ලකුණු 323 ක් ඉදිරියෙන්

sinhala editor

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනට තරගය නිමා කරන විට නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 176 ක් ලබා සිටියි. පළමු ඉනිමේ ලද ලකුණු 147 ක වාසියද සමග ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලකුණු 323 ක් ඉදිරියෙන් සිටින්නේ තවත් කඩුලු 5 ක් අත දරාගෙනය.

නියමිත වේලාවට මිනිත්තු 40 කට ආසන්න පෙර අයහපත් ආලෝක තත්ත්වය මත අද (26 දා) තරගය නතර කර දමන විට දිමුත් කරුනාරත්න ලකුණු 27 ක් සහ ධනංජය ද ද සිල්වා ලකුණු 30 ක් ලෙස ලකුණු ලබා සිටියහ.

මුල් කඩුලු 5 ම ලකුනු 117 කදී බිඳ වැටී තරමක් අසිරුතාවයකට මුහුණ දුන් ශ්‍රී ලංකා පිල ධනංජය ද සිල්වා සහ දිමුත් කරුණාරත්න ගොඩ ගත්හ. පිට කොන්දේ ඇතිවී තිබෙන ආබාධිත තත්ත්වය හේතුවෙන් අවශ්‍ය වුවහොත් පමණක් පන්දුවට පහර දීමේ සූදානමින් ශ්‍රී ලංකා නායකයා පසු වුවත් ඉදිරි පෙළ පිතිකරුවන් දැවී යෑම නිසා විවේකය පසෙකලා පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසීමට දිමුත්ට සිදුවීය.

දිමුත් පසු පෙළින් පන්දුවට පහර දීම නිසා ඔෂධ සමග ඉනිම ආරම්භ කරන ලද්දේ නිරෝෂන් දික්වැල්ල වුවත් ඔහුට ලකුණු අතරට පැමිණීමට නොහැකි විය. නසීම් ෂාගේ පන්දුවක් හමුවේ පිත්තේ පිටත දාරයේ වැදී ස්ලිප් ස්ථානයේ පන්දු රැකි රිස්වාන් දෙඅත් අතර පන්දුව සිර වද්දී දික්වැල්ල ලබා සිටියේ ලකුණු 15 ක් පමණි.  

තම 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින ඇන්ජ‌ලෝ මැතිව්ස් දෙවැනි ඉනීමේදීද ලකුනු 35 කට දැවී ගියේය. මැතිව්ස්ගේ පිත්තේ වැදී උඩ පන්දුවක් රැක ගත්තේ යැයි සිදුකරන ලද ඉල්ලීම ප්‍රධාන විනිසුරුවරයා ප්‍රතික්ෂේප කළ බැවින් පාකිස්තානු නායකයා ඉන් සෑහීමකට පත් නොවුණේය. ඒ සැනහිම තෙවැනි විනිසුරුවරයා වෙත යොමු කරන ලද එම දැවී යෑමේදී පිත්තේ කොණක පන්දුව යන්තමින් වැදී යන බව තෙවැනි විනිසුරුවරයා තීරණය කළේය. එබැවින් ප්‍රධාන විනිසුරුගේ තීරණයට වටිනාකමක් නොවීය.

පාකිස්තානු පළමු ඉනිම ලකුණු 231 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වද්දී පන්දු යැවීමෙන් රමේෂ් මෙන්ඩිස් කැපී පෙනිණ. සිය ටෙස්ට් තරග දිවියේ තෙවැනි වතාවටත් කඩුලු 5 ක් දවා ගැනීමට රමේෂ් සමත්විය. පාකිස්තානු කණ්ඩායමේ අවසන් කඩුලු 4 ම ලකුණු 40 කදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්විය. රමේෂ්ට අමතරව ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

හෙට තරගයේ සිව්වැනි දිනයයි.  

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 103 කදී සියලු දෙනා දැවී ලකුණු 378 යි – (ඕෂධ ප්‍රනාන්දු 50, දිමුත් කරුණාරත්න 40, කුසල් මෙන්ඩිස් 03, ඇන්ජලෝ මැතිව්ස් 42, දිනේෂ් චන්දිමාල් 80, ධනංජය ද සිල්වා 33, නිරෝෂන් දික්වැල්ල 51, දුනිත් වෙල්ලාලගේ 11, රමේෂ් මෙන්ඩිස් 35, ප්‍රභාත් ජයසූරිය 08, අසිත ප්‍රනාන්දු (නොදැවී) 04, නසීම් ෂා 58/3, යසීර් ෂා 83/3, මොහොමඩ් නවාස් 80/2, නවුමන් අලී 64/1)

පාකිස්තානය පන්දුවාර 88.1 කදී සියලු දෙනා දැවී ලකුණු 231 යි – (අබ්දුල්ලා ශෆීක් 00, ඉමාම් උල් හක් 32, බාබර් අසාම් 16, මොහොමඩ් රිස්වාන් 24, ෆාවාඩ් අලාම් 24, අඝා සල්මාන් 62, මොහොමඩ් නවාස් 12, යසීර් ෂා 26, හසන් අලී 21, නවුමන් අලී 01, නසීම් ෂා (නොදැවී) 04, රමේෂ් මෙන්ඩිස් 47/5, ප්‍රභාත් ජයසූරිය 80/3, අසිත ප්‍රනාන්දු 62/1, ධනංජය ද සිල්වා 15/1)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 50 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 176 යි – (නිරෝෂන් දික්වැල්ල 15, ඔෂධ ප්‍රනාන්දු 19, කුසල් මෙන්ඩිස් 15, අන්ජලෝ මැතිව්ස් 35, දිනේෂ් චන්දිමාල් 21, දිමුත් කරුණාරත්න (නොදැවී) 27, ධනංජය ද සිල්වා (නොදැවී) 30, නසීම් ෂා 29/2, යසීර් ෂා 41/1, මොහොමඩ් නවාස් 32/1, අඝා සල්මාන් 18/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee