slc
logo
Home   |    News
අගෝස්තු 8, 2022
පන්දු යවන්නෝ බ්ලූස්ට ජය ගෙනෙති

sinhala editor

By Chamila Karawita

ආරාධිත පන්දුවාර විස්සයි-20 තරගාවලියේ පළමු දිනයේ පැවැති දෙවැනි තරගය වුණු බ්ලූස් සහ ග්‍රීන්ස් අතර තරගයෙන් ලකුණු 32 ක ජයක් වාර්තා කිරීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු බ්ලූස් කණ්ඩායම අද (08 දා) රාත්‍රියේ සමත්විය.

දිනයේ පැවැති පළමු තරගය මෙන් අඩු ලකුණු සංඛ්‍යාවන් මත පදනම්ව මෙම තරගයද නිමාවට පත්වීම කැපී පෙනුණි. ලකුණු 123 ක ඉලක්කයක් හඹා ගිය දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රීන්ස් කණ්ඩායමට බ්ලූස් පිලේ දක්ෂ පන්දු යැවීම හමුවේ පන්දුවාර 18.3 කදී රැස් කරගත හැකි වූයේ ලකුණු 90 ක් පමණි.

හඹා ගිය ග්‍රීන්ස් ඉනිමේ 6 වැනි පන්දුවාරය වන විට ඉදිරි‌ පෙළ පිතිකරුවන් සිව් දෙනෙකුම දවා ගනිමින් සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට ඩිල්ෂාන් මදුශංක ප්‍රමුඛ බ්ලූස් පන්දු යවන්නෝ සමත්වූහ. වේගයක් සහිතව පන්දු යැවූ ඩිල්ෂාන් ඉතාමත් නිවැරදිව පන්දු යවනු තරගයේ කැපී පෙනුණි. ප්‍රතිවාදී පිතිකරුවන්ට කිසිම අවස්ථාවක් ලබා නොදුන් මදුශංක සිය පන්දුවාර 4 ලකුණු 22 කට නවතාලමින් ධනංජය ද සිල්වා සහ නුවනිඳු ප්‍රනාන්දුගේ කඩුලු දවා ගැනීමට සමත්වූවේය.

පන්දු යැවීමේදී ඩිල්ෂාන් මදුශකට අමතරව ප්‍රවීන් ජයවික්‍රම සහ සුමින්ද ලක්ෂාන් කඩුලු 2 බැගින් බිඳ හෙළද්දී කසුන් රජිත, චාමික කරුණාරත්න සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

දසුන් ශානක හුදෙකලා පිතිහරමයක නිරත වෙමින් පන්දු 39 කදී ලකුණු 37 ක් ලබා ගත්තේ තම ඉනිම හතරේ පහර 3 කින් වර්ණවත් කර ගනිමිනි. ග්‍රීන්ස් ඉනිමේ හරි අඩක් නිමාවීමට මත්තෙන් ග්‍රීන්ස් පිලේ බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවකු වූ පැතුම් නිස්සංකව දවා ගැනීමට ධනංජය ලක්ෂාන් සමත්විය. ඔහුට අමතරව රමේෂ් මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩර්සි දෙදෙනාම එකම පන්දු වාරයේදී දැවී ගියහ. දසුන්ට අමතරව වැඩිම ලකුණු ලාභියා වූයේ පැතුම් නිස්සංක වන අතර ඔහු ලකුණු 16 ක් ලබා ගත්තේය.

පළමු කඩුලු 8 ම ලකුණු 71 කද බිඳ දැමීමට ග්‍රීන්ස් පන්දු යවන්නන් සමත් වුවද 9 වැනි කඩුල්ලට එක්වූ අෂේන් බණ්ඩාර සහ කසුන් රජිත එක්ව රැස් කරන ලද ලකුණු 40 ක සම්බන්ධතාව ප්‍රධාන කොට ලකුණු 123 ක ඉලක්කයක් ග්‍රීන්ස් කණ්ඩායම හමුවේ ලබා දීමට බ්ලූස් කණ්ඩායම සමත්විය.

ඉනිමේ කොඳු නාරටිය බවට පත් වුණු අෂේන් බණ්ඩාර නොදැවී ලකුණු 37 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් වන තෙක්ම කඩුල්ල ආරක්ෂා කර ගනිද්දී ඔහුට අනගි සහායක් ලබා දුන් කසුන් රජිත පන්දු 25 කදී ලකුණු 19 ක් ලබා ගතක්තේය. අවශ්‍ය මොහොතේදී සිය සේවය කණ්ඩායමට ලබා දුන් වේග පන්දු යවන්නා සිය ඉනිමට හතරේ පහර 2 ක්ද ඇතුළත් කර ගත්තේය.

මුලු ලකුණු සංඛ්‍යාව 11 ක් වන විට ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක සහ සදීර සමරවික්‍රම දවා ගැනීමට නුවන් තුෂාර සහ බිනුර ප්‍රනාන්දු දෙදෙනා සමත්විය. ආරම්භය බිඳ වැටුණු බ්ලූස් ඉනිම නායක චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩ ගැනීමට දැඩි උත්සාහයක් ගත් නමුදු රමේෂ් මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩර්සි ඊට හරස් වූහ. නායක අසලංක ලකුණු 23 ක් ලබා සිටියදීද ධනංජය ද සිල්වා වැන්ඩර්සිගේ තියුණු පන්දුවකට පහරක් එල්ල කිරීමට යෑමේදී කඩුලු රැකි නිරෝෂන් දික්වැල්ල වෙත උඩ පන්දුවක් ලබා දී දැවී ගියේය.

දඟ පන්දු යවන්නන්ට දායකත්වයක් ලබා දුන් තණතීරු‌වේදී හොඳින් පන්දුව දඟ කැවූ වැන්ඩර්සි ධනංජය ද සිල්වාව දවා ගත්  පන්දුවාරයේ තවත් පන්දු 4 ක් ඇතුළත චාමික කරුණාරත්නගේ කඩුල්ලද දවා ගනිමින් පීඩනය වැඩි කළේය. ඉන් නොනැවතුණු වැන්ඩර්සි ප්‍රමෝද් මදුශාන්ව දුවද්දී දවා ගැනීමට හසුකර ගැනීමට අමතරව ප්‍රවීන් ජයවික්‍රමගේ කඩුල්ලද දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කර ගත්තේය. පන්දුවාර 4 ම ක්‍රියාත්මක කළ දකුණත් පා දඟ පන්දු යවන්නා ලකුණු 12 කට කඩුලු 3 ක් බිඳ හෙළද්දී දසුන් ශානක හැරුණු කොට පන්දු යැවූ ඉතිරි පන්දු යවන්නන් පස් දෙනාම එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

තරගයේ වීරයා –

බ්ලූස් පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 122 යි – (චරිත් අසලංක 23, ධනංජය  ද සිල්වා 14, අෂේන් බණ්ඩාර (නොදැවී) 37, සුමින්ද ලක්ෂාන් 10, කසුන් රජිත 19, ජෙෆ්රි වැන්ඩර්සි 12/3)

ග්‍රීන්ස් පන්දුවාර 18.3 කදී ලකුණු 90 යි – (දසුන් ශානක 37, දිනේ් චන්දිමාල් 11, පැතුම් නිස්සංක 16, ඩිල්ෂාන් මදුශංක 22/2, ප්‍රවීන් ජයවික්‍රම 16/2, සුමින්ද ලක්ෂාන් 22/2)

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee