slc
logo
Home   |    News
දෙසැම්බර් 1, 2022
චරිත් සහ දුනිත්ගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට වාර්තාගත ජයක්

sinhala editor

Chamila Karawita reporting from Pallekele

1-0 ක් ලෙස ඇෆ්ගනිස්තානු පිල තරගාවලියේ පෙරමුණ ගෙන තිබියදී වුවද ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය පතා ඔල්වරසන් ලබා දීම වෙනුවෙන් පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වටා එක්වූ ක්‍රීඩා ලෝලීන්ගේ විශ්වාසය එලෙසින්ම රැකි චරිත් අසලංක සහ දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඔස්ට්‍රේලියානු තරග සංචාරයේදී පල්ලකැලේදී ලද ජයග්‍රහණය මෙන්ම යළිත් වරක් අමතක නොවන ජයග්‍රහණයක් ඔවුන් වෙත ලබාදීමට අද (30 දා) රාත්‍රියේදී සමත්වුහ. ඒ 47 වැනි පන්දුවාරය වන තෙක්ම මුලුමනින්ම ඇෆ්ගනිස්තානය සතුව තිබූ තරගයේ ජය උදුරා ගනිමිනි.

කඩුලු 4 ක ජයක් ලෙසින් සටහන් වුණු මෙම තරගයේදී කලකට අමතක නොවන ඉනිමක් දියත් කළ චරිත් අසලංක සහ නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 65ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාව ජය ටැඹ කරා රැගෙන ගියහ. අවසන් පන්දු 18 දී ලකුණු 37 ක අභියෝගයක් ශ්‍රී ලංකාව හමුවේ පැවැතියත් මොවුන් දෙපළගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් තවත් පන්දු 2 ක් ඉතිරිව තිබියදී තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබිණ.

අවසන්  පන්දුවාරය යැවූ ෆසල්හක් ෆරුකීගේ සිව්වැනි පන්දුවට ස්කෙවයාර් ලෙග් කළාපයට ඉහළින් චරිත් අසලංක විසින් එල්ල කරන ලද හයේ පහරත් සමග ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සනිටුහන් වූයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් හඹා ගොසින් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවටද පත් වෙමිනි.

2023 වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලැබීම සදහා අත්‍යාවශ්‍යම ජයග්‍රහණයක්ව තිබූ මෙම තරග ජයත් සමඟ ශ්‍රී ලංකාවට තවත් ප්‍රසාද ලකුණු 10 ක් හිමිවිය. ඒ සමඟම මේ වන විට ශ්‍රී ලංකාව ලබා සිටින සමස්ථ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගොස් තිබේ.

පන්දුවට පහර දෙමින් සිටියදී මස් පිඬු ඉරී යෑම නිසා චරිත්ගේ පන්දුවට පහර දෙන ලද්දේ දැඩි වේදනාවකින් යුක්තවය. තමාගේ සේවය අවශ්‍යම මොහොතක වේදනාව මැඩ ගනිමින් පන්දුවට පහර දුන් වමත් පිතිකරුවා මුහුණ පන්දු 72 දී ලකුණු 83 ක් ලබාගත්තේ තම ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 5 කින්ද වර්ණවත් කර ගනිමිනි. වටිනාකම කියා නිම කළ නොහැකි මෙම ඉනිම නිසාම තරගයේ වීරයා සම්මානයෙද් හේ පිදුම් ලැබුවේය. චරිත්ට අනගි සහායක් ලබා දුන් 19 හැවිරිදි දුනිත් වෙල්ලාලගේටද චරිත් හා සමානවම ජයග්‍රහණයේ ගෞරවය හිමිවිය යුතුය.

ඇෆ්ගනිස්තානය සතු හොඳම  පන්දු යවන්නා වන රෂීඩ් ඛාන් ඉතා හොඳින් පන්දුව යවමින් සිටියදී පිටියට පිවිසු යෞවනයා, සිය ජ්‍යෙෂ්ඨයාට සහාය ලබා දුන්නේ මුහුණ දුන් පන්දු 21 කදී ලකුණු 31 ක් රැස් කරමිනි.  අවසන් පන්දු 16 දී ශ්‍රී ලංකාව රැස් කරන ලද ලකුණු 37 න් 26 ක්ම වෙල්ලාලගේ පිත්තෙන් වාර්තා වූ ‌ලකුණු විය. මෙම ලකුණු 26 සඳහා වෙල්ලාලගේ මුහුණ දී තිබුණේ පන්දු 9 කට පමණි. 49 වැනි පන්දුවාරය ආරම්භ වන විට ශ්‍රී ලංකාවේ ඉලක්කය පන්දු 12 කදී ලකුණු 29 ක් විය. එම පන්දුවාරය යැවූ ගුල්බාදීන් නයිබිට එරෙහිව හතරේ පහර 3 ක් එල්ල කරන වෙල්ලාලගේ එම පන්දුවාරයේදී ලකුණු 16 ක් ලබා ගැනීමට සමත්විය.

ලකුනු 314 ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ආරම්භක පිතිකරුවන්ගෙන් දෙපළ පළමු කඩුල්ල සඳහා පන්දු 108 කදී ලකුණු 101 ක සම්බන්ධතාවක් එක් කළහ. එහිදී අනගි පිතිහරඹයක නිරත වුණු කුසල් මෙන්ඩිස් පන්දු 61 කදී ලකුණු 67 ක්ද පැතුම් නිස්සංක ලකුනු 35 ක්ද ලබා ගත්හ. එවන් සම්බන්ධතාවක් පවත්වා තිබියදීම ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනකුම ලකුණු 15 ක් ඇතුළත දැවී යෑම නිසා එතෙක් පවත්වාගෙන ආ වේගය රදවා ගැනීම මැද පෙළ පිතිකරුවන්ට අභියෝගයක් විය. කෙසේ වෙතත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් චරිත්ට එකතු වුණු චන්දිමාල් (33) පන්දු 48 කදී වේගවත් ලකුණු 48 ක්ද නායක දසුන් (43) සහ අසලංක පන්දු 68 කදී ලකුණු 79 ක්ද වාර්තා කොට ජයග්‍රහණය සදහා දායකවූහ.

හයේ පහර 4 ක් සහ හතරේ පහර 15 කින් සිය ඉනිම වර්ණවත් කරගත් දකුණත් ආරම්භක පිතිකරුවා ඉනිමේ අවසන් පන්දුව තෙක්ම පන්දුවට පහර දීම නිසා පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් රැස් කරන ලද තෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාවද අද දිනයේ වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානයට හැකියාව ලැබිණ. අසිත ප්‍රනාන්දු විසින් ක්‍රියාත්මක කරන ලද ඉනිමේ අවසන් පන්දුවේදී සද්‍රාන්ගේ ඉනිම නිමාවට පත් වන විට ඇෆ්ගනිස්තානු ලකුණු පුවරුව කඩුලු 8 ට ලකුණු 313 ක් ලෙසින් දිස්විය.

පන්දු 137 කදී වාර්තා වුණු ඊබ්‍රහිම්ගේ ලකුණු 162 ක ඉනිම, ප්‍රතිවාදී රටක පිතිකරුවකු ශ්‍රී ලංකාවේදී ලද ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තාව මෙන්ම ඇෆ්ගනිස්තානු පිතිකරුවකු එක්දින තරගයකදී වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් විය. ඊබ්‍රහිම්ට පෙර එක්දින තරගයක වැඩිම ලකුණු ලාභියා වී ඇත්තේ මොහොමඩ් ෂොසාඩ් 2015 වසරේදී රැස් කරගෙන තිබූ ලකුණු 131 ක ඉනිම විය.

වසර 47 ක එක්දින තරග ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේදී මීට පෙර ප්‍රතිවාදී රටක පිතිකරුවකු රැස් කරගෙන සිටි ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ 2009 වසරේදී ඉන්දීය පිතිකරු ගෞතම් ගාම්බීර් රැස් කර ඇති ලකුණු 150 වේ. පන්දු 147 කදී ගාම්බීර් එම දක්ෂතාවය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී රැස් කරගෙන තිබේ.

තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයේදීද ලකුණු 105 ක් රැස් කර ගත් ඊබ්‍රහිම් අද රැස් කරන ලද්දේ මෙවර තරගාවලියේ ඔහු ලද දෙවැනි ශතකයට වේ. අද තරගය 8 වැනි එක්දින තරගය බවට පත් කරගත් ඇෆ්ගනිස්තානු ආරම්භක පිතිකරුවා මේ දක්වා රැස් කරගෙන සිටින ශතක සංඛ්‍යාව 3 කි. මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභීයා බවට ඊබ්‍රහිම් පත්වීම නිසා තරගාවලියේ වීරයා සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවේය.

පිට පිටම තෙවැනි වතාවටත් කාසියේ වාසිය අහිමිවීම නිසා පළමුව පන්දු යැවූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පන්දුවාර 15 අවසන් වනවිට තරගයේ පාලනය නතු කරගෙන සිටියේ ලකුණු 57 ක් ඇතුළත කඩුලු 3 ක් දවා ගනිමිනි. එ් වන විට විනය ගරුක පන්දු යැවීමක නිරත වුණු කසුන් රජිත පන්දුවාර 6 ක් ඇතුළත ලකුණු 2 ක් පමණක් ලබා දී කඩුලු 2 ක් දවාගෙන සිටිද්දී අසිත ප්‍රනාන්දු ක්‍රීයාත්මක කරන ලද පන්දුවාර 3 දී ලබා දී තිබුණේ ලකුණු 13 ක් පමණි. 21 වැනි පන්දුවාරය වෙද්දීත් ඔවුන් ලබාසිටියේ කඩුලු 3 කට ලකුණු 87 ක් පමණි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිය අධිපත්‍ය රඳවා ගැනීමට සමත් වද්දී කණ්ඩායමේ අනෙක් සද්‍රාන් වූ නජිබුල්ලා සමග එක්ව සංයමයකින් යුතුව කඩා වැටුණු ඇෆ්ගනි ඉනිම සෙමෙින් සෙමෙන් ගොඩනැංවූහ. සිව්වැනි කඩුල්ලේ පළමු ලකුණු 50 සදහා පන්දු 60 ක් වැය කළ සද්‍රාන් යුගල ලකුණු 100 සඳහා පන්දු 106 ක් වැය කළහ. එම සම්බන්ධතාව ක්‍රියාත්මක වන අතරතුරදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේද පාලනයක් නොමැති වීම සද්‍රාන් යුගලට සිත්සේ ලකුණු රැස් කිරීමට උත්පේරකයක් සැපයීය. ඉලක්කය වෙත පන්දුව පිරිනැමීමේදී එය අපේක්ෂිත ඉලක්කය වෙත නොගොස් හතරේ සීමාව කරා යෑම  ද (ඕවර් ත්‍රෝ) අද දිනයේදී ප්‍රතිවාදීන්ට හිමිවූ බෝනස් ලකුණු ලෙසින් සටහන් විය.

38 වැනි පන්දුවාරයේදී වනිදු හසරංග විසින් නජිබුල්ලාව දවා ගන්නා විටත් ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 141 කදී ලකුණු 154 ක සම්බන්ධතාවක් පවත්වමින් තරගයේ වාසිය ශ්‍රී ලංකාවෙන් ඈතට රැගෙන යෑමට සමත්වූහ.

කඩුලු ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දීමට සද්‍රාන් යුගල සමත්වීම නිසා වේගයෙන් පන්දුවට පහර දෙන පන්දුවාර 40 සිට 50 දක්වා වූ සීමාවේදී රිසිසේ පන්දුවට පහර දීමට ඔවුනට අවස්ථාව උදාවිය. එයින් උපරිම ප්‍රයෝජනය ගත් ඊබ්‍රහිම් සහ සෙසු පිතිකරුවෝ අවසන් පන්දු වාර 10 දී ලකුණු 87 ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් උදුරා ගත්හ. ඉන් ලකුණු 56 ක්ම ඊබ්‍රහිම්ගේ පිත්කෙන් වාර්තා වූ ලකුණුය. ඊබ්‍රහිම් ඇතුළු ඇෆ්ගන් පිතිකරුවන් මෙල්ල කිරීමට ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 7 දෙනෙකුගේ සහාය ලබා ගත්තද ධනංජය ද සිල්වා හැරුණු කොට සෙසු සියල්ලෝටම පන්දුවාරයකට ලකුණු 6 කට වඩා වැඩි සාමාන්‍යයක් රඳවා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වූහ. පළමු පන්දුවාර 6 ලකුණු 22 කට සීමා කළද කසුන් රජිතගේ ඉතිරි පන්දුවාර 4 දී ලකුණු 38 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදීන් සමත්විය. ඔහුගේ නම ඉදිරියෙන් කඩුලු 3 ක් සටහන් වද්දී වනිදු හසරංග කඩුලු 2 ක් ලබා ගත්තේ ලකුණු 67 ක් ලබා දීමෙනි.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest