slc
logo
Home   |    News
මාර්තු 31, 2023
ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුවත් ගිලිහෙයි

sinhala editor

දිගින් දිගටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක පිතිහරඹය හේතුවෙන් නවසීලන්තයට එරෙහිව හැමිල්ටන්හි පැවැති තෙවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 6 ක වේදනා බර පරාජයකට මුහුණ දීමට අද (31 දා) සිදුවිය. පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට යම් බලාපොරොත්තුවක් තිබුණේ නම් අද ලද පරාජයත් සමඟ ඒ සියලු අවස්ථාවන්ද මඟ හැරී ගිගේය. ගෞරවාන්විත තරගාවලි නිමාවක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ ජය අතිශය වැදගත් වුවත්, පිතිකරුවන්ගේ වූ වරදින් වාසිය තමන් වෙතට හරවා ගත් නවසීලන්ත ක්‍රීඩකයෝ එක්දින තරගාවලියද 2-0 ක් ලෙස ජය වාර්තා කළහ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසර මැදදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කොට ජය ලබා ගත යුතු වේ.

දෙවැනි එක්දින තරගය මුලුමනින්ම වර්ෂාවට සේදී ගියත් පළමු එක්දින තරගයේ දී පිතිකරුවන් තුළ වූ කඩා වැටීම තෙවැනි තරගයේදී හෝ නිරාකරණය කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට නොහැකි විය. පිතිකරුවන් යැයි සම්මත ඉදිරි පෙළ පිතිකරුවන් පස් දෙනාගෙන් සිව් දෙනෙකුම ලකුණු 10 ට අඩුවෙන් දැවී ගිය අතර එහි අනිසි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා සමස්ථ ඉනිමම 42 වැනි  පන්දුවාරයේදී ලකුණු 157 කට සීමා වීමය.

එම ඉක්කය හඹා යෑමේදී ළහිරු කුමාර ප්‍රමුඛ වේග පන්දු යවන්නන්ගේ ප්‍රබල අභියෝගයක් එල්ල කළද කලබලයකින් තොරවූ නවසීලන්ත පිතිකරුවෝ පන්දුවාර 32 කුත් පන්දු 5 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ.

ලකුණු 6 ක් ඇතුළත ආරම්භක පිතිකුවන් දෙදෙනා දවා ගනිමින් ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට ළහිරු කුමාර සමත් වද්දී අංක 3 පිතිකරුවා ලෙසින් පවුරක් සේ නොසැලී සිටි විල් යංග් නොදැවී ලකුණු 86 ක් ලබා සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමේ පෙරමුණ ගත්තේය. දසුන් ශානක විසින් ටොම් ලේතම්ගේ කඩුල්ල දවා ගන්නා විටත් නවසීලන්ත ජයග්‍රහණයට ලකුණු 99 ක අවශ්‍ය විය. එහිදී විල් යංග්ට එක් වුණු හෙන්රි මිචෙල් පස්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුනු ලකුණු 100 ක සම්බන්ධතාවක් පවත්වමින් නවසීලන්ත පිලට 2-0 ක තරගාවලි ජයග්‍රහණයක් දක්වා රැගෙන ගියහ. පන්දු 108 ක් පමණක් වැය වුණු එම සම්බන්ධතාවයේදී නිකොල්ස්ගේ දායකත්වය පන්දු 52 කදී ලකුණු 44 කිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු ළහිරු කුමාර ලකුණු 39 කට කඩුලු 2 ක් දවා ගත්තේය. කසුන් රජිත සහ දසුන් ශානක පසුව පැමිණ කඩුල්ල බැගින් දවා ගත්තද නිකොල්ස් සහ යංග්ගේ සම්බන්ධතාව බිඳ හෙළීමට ‌අපොහොසත්වීම නිසා අපසුවකින් තොරව තරග ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

ආරම්භක පිතිකරු නුවනිඳු ප්‍රනාන්දුව දවා ගත් මැට් හෙන්රි දෙවැනි ගොදුර වශයෙන් වටිනාම පිතිකරුවා වූ කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙත පීඩනය ගෙන ආවේය. පළමු එක්දින තරගයේදී කඩුලු 5 ක් දවා ගත් හෙන්රි ශිප්ලේගේ පන්දු හමුවේ යළිත් අසීරුතාවයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවී ගිය පිතිකරුවන් 10 දෙනා අතරින් තිදෙනෙකුම ඔහු හමුවේ දැවී ගියේය.

ශ්‍රී ලංකා ඉදිරි පෙළ නියෝජනය කළ නුවනිඳු ප්‍රනාන්දු (02), කුසල් මෙන්ඩිස් (00), ඇන්ජලෝ මැතිව්ස් (00) සහ චරිත් අසලංක (09) අඩු ලකුණු වලට දැවී යෑම නිසා ශ්‍රී ලංකා ඉනිමට හිස එසවීමට නොහැකි විය.

පන්දු යැවීමේදී ශිප්ලේට අමතරව මැට් හෙන්රි සහ ඩැරල් මිචෙල් කඩුලු 3 බැගින් දවා ගත් අතර එහිදී හොඳම  පන්දු යැවීම මැට් හෙන්රි විසින් වාර්තා කළේය. ඉනිමේ පන්දුවාර 10 යවා නිම කළ එකම පන්දු යවන්නා බවටද පත්වූ හෙන්රි නිලකුණු පන්දුවාර 2 ක්ද සමගින් ලකුණු 14 ක් ඇතුළත කඩුලු 3 ක් දවා ගත්තේය.

ආරම්භයේ සිට එක් අන්තයක් කඩා වැටෙද්දී තම අන්තය ආරක්ෂා කරගත් පැතුම් නිස්සංක ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූවේය. පන්දු 64 කට මුහුණ දුන් පැතුම් ලකුණු 57 ක් ලබා ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ මෙහෙයක් ඉටු කරමින් සිටියදී කඩුලු අතර දිව යෑමේදී වූ අතපසුවීමකින් කඩුල්ල අහිමි කර ගත්තේය.

පළමු පවර් ප්ලේ පන්දුවාර 10 දී දුර්වල පන්දුවලට පමණක් පහර එල්ල කළ දකුණත් පිතිකරුවාට, එම කාල සීමාවේදී වැඩි යමක් කළ නොහැකි වූයේ දිගින් දිගටම කඩුලු වැටීම නතර නොවූ බැවිනි. පවර් ප්ලේ  පන්දුවාර 10 අවසන් වන විට ශ්‍රී ලංකා පිල රැස් කරගෙන සිටියේ කඩුලු 3 කට ලකුණු 26 ක් පපමණි.

ඉනිමේ මැද පෙළින් දසුන් ශානක සහ චාමික කරුණාරත්න කණ්ඩායම ගොඩ ගැනීම සදහා කිසියම් උත්සාහයක් ගත්තද ශිප්ලේ සහ හේනරි ඊට හරස් විය. පන්දු 36 කට මුහුණ දුන් නායකයා හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 31 කට ශිප්ලේගේ ගොදුරක් බවට පත් වද්දී චාමික පන්දු 42 කදී ලකුණු 24 ක් රැස් කළේය.

ශ්‍රී ලංකාව පන්දුවාර 41.3 කදී සියලු දෙනා දැවී ලකුණු 157 යි – (පැතුම් නිස්සංක 57, දසුන් ශානක 31, චාමික කරුනාරත්න 24, ධනංජය ද සිල්වා 13, මැට් හෙන්රි 14/3, හෙන්රි හිප්ලි 32/3, ඩැරල් මිචෙල් 32/3)

නවසීලන්තය පන්දුවාර 32.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 159 යි – (විල් යංග් 83*, හෙන්රි නිකොල්ස් 44*, ළහිරු කුමාර 39/2, කසුන් රජිත 44/1, දසුන් ශානක 25/1)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee