ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමේ බලාරොත්තු ඇතිව දකුණු අප්‍රිකාවට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (27 දා) ඩර්බන් නුවරදී සිය පළමු සටන දියත් කරනු ඇත. මෙම තරගාවලියට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් අවතීර්ණ වන්නේ ලෝක ටෙස්ට් ප්‍රසාද ලකුණු පුවරුවේ පිළිවෙළින් තෙවැනි සහ පස්වැනි ස්ථානවල රැඳී සිටගෙනය.
ප්‍රසාද ලකුණු 55.56 ක් ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලිය සාර්ථකව අවසන් කර ගැනීමට හැකියාව ලැබුණහොත් එම අවසන් මහ තරග වරමට සුදුසුකම් ලබා ගැනීමට වැඩි හැකියාවක් පවතිනු ඇත. මෙම තරග දෙකින් එකක් ජය ගතහොත් ශ්‍රී ලංකාවට ඊළඟ ටෙස්ට් තරගාවලිය යෙදී තිබෙන්නේ ඔස්ට්‍රේලියාවට එරෙහිව. එම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එය ජය ගැනීමේ වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායම සතු වනු ඇත.
ශ්‍රී ලංකාව හෙට තරගයට සහභාගිවන ඩර්බන් තණතීරුවේ ඉතිහාසය ගත් කළ එය ශ්‍රී ලංකාවට වාසනාවන්ත එකකි. මන්ද යත් මෙතෙක් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේ වාර්තා කර ඇති ජයග්‍රහණය 3 න් 2 ක් ම ඩර්බන් තනතීරුවේදී වාර්තා කිරීමට සමත්ව ඇති බැවිනි. ශ්‍රී ලංකාවට තරග වැදිමට යෙදී ඇති දෙවැනි තරගයද බෙබරාහි ශාන්ත ජෝර්ජ් උද්‍යාන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර එම ක්‍රීඩාංගණයේදීද ශ්‍රී ලංකාව මීට පෙර ජය වාර්තා කිරීමට සමත්ව සිටීම මෙවර තරගාවලිය පිළිබඳව වැඩිදුර බලාපොරොත්තු තබා ගැනීමට සුභ පෙර නිමිත්තක් ලෙසින් ද සැලකිය හැකිය.
එවන් තත්ත්වයක් මත ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට සහභාගිවූයේ කොටස් දෙකකටය. ඉන් ක්‍රීඩකයින් 10 දෙනෙක් ඉකුත් 12 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන ලද්දේ එහි දේශගුණික මෙන්ම තණතීරුවල හැසිරීම් පිළිබඳව වැඩි අවධානයක් ලබා ගැනීමටය. කල්තියාම දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එරට හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු මෙන්ම පුහුණුකරුවකු වූ නීල් මැකෙන්සිගේ යටතේ දින 10 ක පුහුණු සැසියක්ද ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන ලද්දේ තරගාවලිය පිළිබඳව ක්‍රීඩකයින්ගේ විශ්වාසය මෙන්ම මානසිකත්වයද ඉතා ඉහළ තලයකට රැගෙන ඒමේ අදිටනිනි.
පෙර සඳහන් කළාක් මෙන් ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සමඟ ඔවුන්ගේ නිජ බිමේදී තරග 3 ක් ජය ගෙන ඇත්තේ තරග 17 කට සහභාගිවීමෙන් අනතුරුවය. ඉන් එක් තරගයක් පමණක් ජය පැරදුමෙන් තොරව අවසන් වද්දී ඉතිරි තරග 13ම ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානුවෝ සමත්ව සිටිති. 1993 වසර දක්වා දිව යන දෙරට අතර ටෙස්ට් පුරාණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් පළමු වතාවට ටෙස්ට් තරග ජයක් වාර්තා කිරීමට සමත්ව ඇත්තේ 2011 වසරේදී ඩර්බන්හි පැවැති ටෙස්ට් තරගය වේ. ඊට පසුව ශ්‍රී ලංකාව දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ 2019 වසරේ තරග වැදි තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එම තරගාවලි ජය අදටත් සනිටුහන් වනුයේ ආසියානු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේදී ලද පළමු තරගාවලි ජයග්‍රහණය වශයෙනි.
මෙම තරගාවලි ජයග්රහණයේදී කුසල් ජනිත් පෙරේරාගේ නම අමතක කිරීමට නොහැකිය. ඩර්බන් තරගයේදී ලකුණු 153 ක් ලද කුසල් එදා ක්‍රීඩා කරන ලද ඉනිම ලොව ප්‍රකට ක්‍රිකට් වෙබ් අඩෙවිය වන ‘ක්‍රික්ඉන්ෆෝ‘ වෙබ් අඩෙවිය විසින් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයකු ක්‍රීඩා කරන ලද විශිෂ්ඨතම ඉනිම ලෙසින් තෝරා ගනු ලැබීය.
එම ජයග්‍රාහී තරගාවලිය නියෝජනය කල කණ්ඩායමේ ක්‍රීඩකයින් බොහෝමයක් මේ තරගාලියටද ක්‍රීඩා කරනු ඇත. ඒ අතරින් ඩර්බන් ටෙස්ට් තරගය තම මංගල තරගය කරගත් තරගයේදීම කඩුලු 5 ක් දවා ගැනීමට සමත් ලසිත් ඇඹුල්දෙණියද මෙවර තරග සංචාරයේදී ශ්‍රී ලංකා පිලේ සාමාජිකයෙක්ව සිටියි. ඇඹුල්දෙණිය කණ්ඩායමට පැමිණ සිටින්නේ වසර දෙකහමාරකට කාලයකින් පසුව බැවින් ඔහුට හෙට තරගයට ක්‍රීඩා කිරීමට ඇත්තේ ඉතා අල්ප අවස්ථාවක් බවට පත්ව ඇත්තේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරියද වමතින් දඟ පන්දු යවන හෙයිනි. ඊට අමතරව පිට දඟ පන්දු යවන නිශාන් පීරිස්ද වර්තමාන දක්ෂතා අතර ඇඹුල්දෙණියට වඩා ඉදිරියෙන් පසු වුවද, වර්තමාන තේරීම් කමිටුව මෙන්ම පුහුණුකරු සනත් ජයසූරියද කණ්ඩායම දෙස බලනුයේ වෙනමම උපක්රමික ඇසකින් බැවින් හෙට තරගයට ඇඹුල්දෙණිය ක්‍රීඩා කළහොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත.
මේ අතර තම වැලමිටේ ආබාධය සුව වීමෙන් අනතුරුව දකුණු අප්‍රිකානු ටෙස්ට් පිලේ නායක ටෙම්බා බවුමා නැවතත් කණ්ඩායමට පැමිණ සිටියි. ඔහු ඉකුත් අයර්ලන්තයට එරෙහිව පැවැති තරගාවලියේදී අස්ථි බිඳීමකට මුහුණ දුන්නේය. ඔහුට අමතරව මාකෝ ජැන්සන් සහ ජෙරල්ඩ් කොඑට්සිද කණ්ඩායමට එකතුව සිටින්නේ ශ්‍රී ලංකාවට එරෙහිව වන වේග පන්දු බල ඇණිය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිවය.
ශ්‍රී ලංකා කණ්ඩායම – ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ලසිත් ඇඹුල්දෙණිය, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, ළහිරු කුමාර, නිශාන් පීරිස්, කසුන් රජිත, මිලාන් රත්නායක.
දකුණු අප්‍රිකානු කණ්ඩායම – ටෙම්බා බවුමා (නායක), ඩේවිඩ් බෙඩිංග්හැම්, ජෙරල්ඩ් කොඑට්සි, ටෝනි ඩි සෝර්සි, මාකෝ ජැන්සන්, කේෂව් මහරාජ්, ඒඩ්න් මාක්රම්, වියාන් මල්ඩර්, සෙනුරන් මුතුසාමි, ඩෑන් පීටර්සන්, කගීසෝ රබඩා, ටීරස්ටන් ස්ටබ්ස්, රයාන් රිකල්ටන්, කයිල් වර්රින්.