slc
logo
Home   |    News
මැයි 23, 2025
ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සැරසෙයි

sinhala editor

ලබන මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් පසු ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර සිටියි. ටෙස්ට් තරග 118කදී ශ්‍රී ලංකාව නියෝජනය කළ 37 හැවිරිදි මැතිව්ස් ලබන 17  වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදී සමුගැන්ම සටහන් කරනු ඇත.

වසර 2009 ජූලි 4 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පාකිස්තානයට එරෙහිව සිය මුල්ම ටෙස්ට් තරගයට සහභාගි වූ මැතිව්ස් 2022දී පාකිස්තාන ක්‍රිකට් පිලට එරෙහිව ගාල්ලේදීම 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය. අනතුරුව තම වසර 16ක අභිමානවත් ටෙස්ට් ගමනාන්තය ද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සිඳු කිරීම ක්‍රීඩකයෙකුගේ දුර්ලභ මතක සටහන් එකතුවකි. ඒ අනුව මංගල ටෙස්ට් තරගය, සියවැනි ටෙස්ට් තරගය හා අවසන් ටෙස්ට් තරගය යන අවස්ථා තුනම එකම ක්‍රීඩාංගණයක ක්‍රීඩා කළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනා අතරට මැතිව්ස්ගේ නාමය ද ලියැවේ.

“ජුනි මාසයේ බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මගේ රට වෙනුවෙන් මා ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගය වේවි“ යැයි මැතිව්ස් සිය සමාජ ජාලා ගිණුමේ සටහන් කර තිබේ.

එහිදී වැඩිදුරටත් සිය සමුගැන්ම පිළිබඳව සඳහන් කර ඇති හිටපු ටෙස්ට් නායකයා, “ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ පසුගිය වසර 17 මගේ ඉහළම ගෞරවය සහ ආඩම්බරයයි. ශ්‍රී ලංකා ජර්සිය පැළඳ සිටින විට ඇති වන දේශ ප්‍රේමය පිළිබඳ හැඟීමට කිසිවක් සම කළ නොහැක. මම මගේ සියල්ල ක්‍රිකට් ක්‍රීඩාවට ලබා දී ඇති අතර, ක්‍රිකට් ක්‍රීඩාව මට සියල්ල ආපසු ලබා දී අද මා වැනි පුද්ගලයකු ශක්තිමත් කර තිබේ. මගේ ඉහළම සහ පහළම මට්ටම්වලදී වෘත්තීය ජීවිතය පුරා මා වෙනුවෙන් සිටි දහස් ගණන් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්ට ස්තූතිවන්තවන්ත වෙමි. මා සැමවිටම විශ්වාසය තැබූ, මා සමඟ සිටි සර්ව බලධාරී දෙවියන් වහන්සේට, මගේ ආදරණීය මව්පියන්ට, මගේ බිරිඳට සහ දරුවන්ට සහ මගේ පවුලේ අයට සහ සමීපතම මිතුරන්ට මම ස්තූති කිරීමට කැමැත්තෙමි“ යැයි සඳහන් කර තිබේ.

“මගේ වෘත්තීය ජීවිතය පුරාවටම සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට, මගේ පාසල වන කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට සහ සියලුම පුහුණුකරුවන්ට මගේ විශේෂ ස්තූතිය සහ කෘතඥතාව පළ කිරීමට කැමැත්තෙමි“ යැයිද මැතිව්ස් සිය සිය සමාජ ජාලා ගිණුමේ තවදුරටත් සඳහන් කර තිබේ.

දකුණත් පිතිකරුවෙකු මෙන් ම දකුණත් මඳවේග පන්දු යවන්නෙකු වන ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 118 තුලදී ඉනිම 210කට ක්‍රීඩා කොට නොදැවීම් 27ක් සමඟ ලකුණු 8167ක් ලබා සිටී. ටෙස්ට් පිටියේ පෞද්ගලික වැඩිම ලකුණු ගණන ලෙස සිම්බාබ්වේ පිලට එරෙහිව 2020 වසරේ හරාරේ ක්‍රීඩාංගණයේදී නොදැවී ලකුණු 200ක් ලබා ඔහු සටහනක් තැබීය. ශතක 16ක් අර්ධ ශතක 45ක් ඇතුලත් වූ වර්ණවත් ටෙස්ට් ජීවිතයේ ලකුණු සාමාන්‍ය 44. 62කි.

ඔහු ටෙස්ට් තරගවල පන්දු යැවීමේදී ඉනිම 86කදී ලකුණු 1798කට කඩුලු 33ක් දවාගෙන එහි සාමාන්‍ය 54. 48ක් ලෙස රඳවා ගත්තේය. එංගලන්තයට එරෙහිව 2014 වසරේ ලීඩ්ස් හිදී ලකුණු 44කට කඩුලු 4ක් දවා ගැනීම ඔහුගේ ටෙස්ට් ඉනිමක හොඳම පන්දු යැවීම වේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර ඇන්ජලෝ මැතිව්ස් තෙවැනි වන්නේ කුමාර් සංගක්කාර (ලකුණු 12400) හා මහේල ජයවර්ධන (ලකුණු 11814) යන ප්‍රවීණයින්ට පමණි.

ඇන්ජලෝ මැතිව්ස් සිය නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ක්‍රීඩාවේ වඩාත්ම ආදරණීය ආකෘතිය වන ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට කාලය එළැඹ ඇති බවය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee