slc
logo
Home   |    News
ජූනි 2, 2025
නැගීඑන කණ්ඩායම කොදෙව් දේශය බලා පිටත්ව යයි

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන තරග 2 කින් සමන්විත සිව්දින සහ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට සහභාගිවීම සඳහා ධනංජය ලක්ෂාන්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම අද (02 දා) පස්වරුවේදී බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව ගියේය. ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම, ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවැති සර්වආගමික වතාවත්වලට සහභාගිවීමෙන් අනතුරුව අදාළ සංචාරය බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා නැගිඑන කණ්ඩායමක් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි සිදුකරනු ලබන පළමු තරග සංචාරය වන්නේ මෙම තරග සංචාරය වේ. සංචාරක කණ්ඩායමට පිතිකරුවන් 8 දෙනෙක්, කඩුලු රකින්නන් දෙදෙනෙක් තුන් ඉරියව් ක්‍රීඩකයින් තිදෙනෙකු සහ පන්දු යවන්නන් පස් දෙනෙකු ඇතුළත්ව සිටිති.

තරගාවලිය පිළිබඳව අදහස් දක්වා සිටි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සචිත් පතිරණ සඳහන් කර සිටියේ, තරගාවලියේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙනවා සේම කණ්ඩායමේ ක්‍රීඩකයින් 18 දෙනාටම මෙම තරගාවලියේදී ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වෙන බවයි.

“ඇත්තටම ඉතාම හොඳ කණ්ඩායමක් ලැබිලා තියෙනවා. විශේෂයෙන් මේ කණ්ඩායම අපිට ලබා දීලා තියෙන්නේ විස්සයි-20තරගාවලිය අතරතුරයි. මේ කණ්ඩායමේ ඕනෑම කන්ඩිෂන් එකක ඕනෑම සිටුවේෂන් එකකට ක්‍රීඩා කරන්න සුදුසු කණ්ඩායමක් අපිට ඉන්නවා. අපිට අවශ්‍ය විදියට යොදා ගන්න පුලුවන්“.

“තරගාවලියේ ජයග්‍රහණය වගේම ක්‍රීඩකයින් 18 දෙනාම මේ තරගාවලියේදී ක්‍රීඩා කරවලා ඔවුන්ට තරග අත්දැකීම් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එය අභියෝගයක්. නමුත් අපි ඒ අභියෝගයට මුහුණ දීමට සූදානමින් සිටිනවා“ යැයි ප්‍රධාන පුහුණුකරු පතිරණ සඳහන් කර සිටියේය.

මේ අතර තරගාවලිය පිළිබඳව අදහස් දක්වා සිටි නායක ධනංජය ලක්ෂාන් සදහන් කර සිටියේ, තරගාවලියට පෙර හොඳ සූදානමකින් පසුවන බවත්, ප්‍රතිවාදීන් පිළිබඳවද හොඳ අවබෝධයකින් පසුවන බව සඳහන් කර සිටියේය.

“ඇත්තටම මේ තරගාවලිය හොඳ අභියෝගයක් වෙයි. මොකද කණ්ඩායමේ සිටින සියලු දෙනා නවකයින් වුවත් දේශීය තරග පිටියේදී ඔවුන් දක්ෂතා අතර සිටින වගේම අත්දැකීම් තියෙන ක්‍රීඩකයින් නිසා. මේ නිසා මේ තරගාවලිය හොඳින් අවසන් කරන්න පුලුවන් වේවි කියලා මම විශ්වාස කරනවා“ යැ ලක්ෂාන් වැඩිදුරටත් පැවැසීය.

දෙපිළ අතර තරගාවලිය ජූනි මස 07 වැනිදා සිට 17 වැනිදා දක්වා ඇන්ටිගුවා හිදී පැවැත්වෙනු ඇත. මෙහිදී එක්දින තරග 3 කූලිජ්හිදීද සිව්දින තරග 2 ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම – ධනංජය ලක්ෂාන් (නායක), ජනිෂ්ක පෙරේරා, ෂෙවෝන් ඩැනියල්, අහන් වික්‍රමසිංහ, නිපුන් ධනංජය, අංජල බණ්ඩාර, සොහාන් ද ලිවේරා, සහන් කෝසල, රවිඳු ප්‍රනාන්දු, චමිදු වික්‍රමසිංහ, දුලාජ් සමුදිත, ගරුක සංකෙත්, සිතුම් දිසානායක, දිලුම් සුදීර, ට්‍රෙවීන් මැතිව්, අෂෙයින් ඩැනියල්, මෙලන් හංසක.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee