බටහිර ඉන්දීය කොදෙව් දේශීයේ තරග සංචාරයකට සහභාගිව සිටින ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩම් කණ්ඩායම අතර පැවැති පළමු සිව්දින ක්‍රිකට් තරගයේදී තවත් පූර්ණ දිනයක් ඉතිරිව තිබියදීම ලකුණු 75 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ සමත්වූහ.
කූලිජ්හිදි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 292 ක් ලබා ගත් අතර සත්කාරක කොදෙව් ඇකඩමි පිල සියලු දෙනා දැවී ලකුණු 214 ක් ලබා ගත්තේය. ලකුණු 78 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුනු 219 ක් ලබා ජයග්‍රහණය වෙනුවෙන් ලකුනු 298 ක ඉලක්කයක් කොදෙව් ඇකඩම් පිල වෙත ලබා දෙන ලදී. එහෙත් එය හඹා යෑමේදී සත්කාරකයින්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 222 ක් පමණි.
මෙහිදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු 24 හැවිරිදි වියේ පසුවන දිලුම් සුදීර ලකුණු 51 ක් ඇතුළත කොදෙව් පිලේ කඩුලු 4 ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීමට සමත්වූවේය. ඔහුට අමතරව සුලාජ් සමුදිත ලකුණු 46 කට කඩුලු 3 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දක්වද්දී අශේයින් ඩැනියල් ලකුණ 55 කට කඩුලු 3 ක් දවා ගත්තේය.
මෙම තරගයේදී පළමු ඉනිමේදී සොහාන් ද ලිවේරා ලකුණු 130 ක් ලබාගනිමින් පිතිකරණ අංශයෙන් කැපී පෙනෙද්දී පන්දු යැවීමේදී දුලාජ් සමුදිත ලකුණු 57 කට කඩලු 5 ක් දවා ගනිමින් කැපී පෙනුණේය. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් කැපී පෙනුණු රවිඳු රසාන්ත ලකුණු 65 ක් සහ ෂෙවෝන් ඩැනියල් ලකුණ 50 ක් ලබා ගනිමින් අර්ධ ශතක වාර්තා කළහ.
දෙපිළ අතර පැවැත්වෙන දෙවැනි සිව්දින ක්‍රිකට්් තරගය මේ මස 14 වැනිදා කූලිජ්හිදීම ආරම්භ වනු ඇත.
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 292 (65.4) රවිඳු රසාන්ත 24, ශෙවෝන් ඩැනියෙල් 47, ජනිශ්ක පෙරේරා 38, සොහාන් ද ලිවේරා 130, සිතුම් දිසානායක නොදැවී 17, නේතන් එඩ්වර්ඩ්න් 58/2, කෙවින් පිට්මන් 28/7
බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 214 (50.4) අකීම් ඔගස්ටි, 24, කාලන් බොවෙන් 30, රිවාල්ඩෝ ක්ලාර්ක් 42, ජොෂුවා බිෂොප් 24, දුලාජ් සමුදිත 57/5, අශේන් ඩැනියෙල් 45/3
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 219 (58.2) රවිඳු රසාන්ත 65, ශෙවෝන් ඩැනියෙල් 50, ජනිශ්ක පෙරේරා 34, ධනංජය ලක්ෂාන් 28, සොහාන් ද ලිවේරා 26, ජොෂුවා බිෂොප් 41/3, නේතන් එඩ්වර්ඩ් 23/6
බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 222 (50.5) අකීම් ඔගස්ටි 82, බෙකී ජොසප් 25, කාලන් බොවෙන් 43, රිවාල්ඩෝ ක්ලාර්ක් 36, දුලාජ් සමුදිත 46/3, දිලුම් සුදීර 51/4, අශේන් ඩැනියෙල් 55/3