ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවු. 19 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් බාලිකා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති තරග වලදී ගාල්ල සහ කොළඹ කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ.
ගාලු කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීමට රිෂ්මි සංජනා සමත්වූ අතර ඇය පන්දුවට පහර දෙමින් නොදැවී ලකුනු 30 ක් සහ පන්දු යවමින් ලකුනු 14 කට කඩුලු 4 ක් දවා ගනිමින් කැපී පෙනුණාය.
ඇයගේ දක්ෂතා ප්‍රධාන කොට තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගාලු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී ලකුණු 121 ක් රැස් කර ගන්නා ලදුව ඊට පිළිතුරු ලෙස ප්‍රතිවාදී මහනුවර ක්‍රීඩිකාවන්ට රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 20 අවසනදී සියලු දෙනා දැවී ලකුණු 85 ක් පමණි.
මෙහිදී ගාලු කණ්ඩායමේ නායිකාව වූ රිස්මි ලබා ගත් ලකුණු 30 සදහා ඇය මුහුණ දුන්නේ පන්දු 28 කට පමණක් වන අතර ඊට හතරේ පහර 2 ක් ඇතුළත්විය. ඇයට අමතරව නෙතඟි ඉසුරාංජලී පන්දු 32 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 25 ක්ද ලබා ගත්තාය. ඇය සහ ලක්ණි නිම්සරා අතට සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 45 කදී ලකුනු 50 ක් විය.
මහනුවර පිල වෙනුවෙන් පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ ධරණි දිසානායක ලකුණු 27 කට කඩුලු 3 ක් දවා ගනිද්දී ප්‍රමුධි මෙත්සරා කඩුලු 2 ක් ද දවා ගත්තාය.
මේ අතර පස්වරුවේ පැවැති තරගයේදී තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වූ දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 57 ක පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත්විය. මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී ලකුණු 101 ක් රැස් කිරීමට සමත්වූ අතර ඊට පිළිතුරු ලෙස දඹුල්ල කන්ඩායමට රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 12.2 කදී සියලු දෙනා දැවී ලකුණු 44 ක් පමණි.
මෙම තරගයේදී කොළඹ කණ්ඩායම පළමු කඩුලු 6 ම ලකුණු 44 කදී බිද වැටී අසීරු තත්ත්වයක පසු වුවද 7 වැනි කඩුල්ලට එක් වුණු යෙසලි ජිතාරා සහ නෙතුකි කුඩලිගම පන්දු 57 කදී ලකුණු 55 ක් එක් කරමින් සිය කණ්ඩායම ගොඩ ගත්හ මෙහිදී නෙතුකි පන්දු 29 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 27 ක ද යෙසලි පන්දු 39 කදී හතරේ පහර 2 ක් ද සමගින් නොදැවී ලකුණු 24 ක් ද ලබා ගත්හ. පන්දු යැවීමේද නෙත්මි උපේක්ෂා සහ දනෝද්‍යා සෙව්මිණී කඩුලු 2 බැගින් දවාගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම බිද දැමීමේ ප්‍රධානම අවිය වට පතවන්නේ දිනිති නාගසිංහ වන අතර ඇය ලකුණු 18 කදී කඩුලු 4 ක් දවා ගනිමින් පන්දු යැවීමෙන් කැපී පෙනුණාය. ඇයට අමතරව ලිමංසා තිලකරත්න සහ යෙසලි ජිතාටා කඩුලු 2 බැගින් දවා ගත්හ.
තරගාවලියේ තෙවැනි දිනය වන ජූලි මස 24 වැනිදා තවත් තරග දෙකක් මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහිදී ගාල්ල සහ කොළඹ අතර තරගය පෙරවරුවේද මහනුවර සහ දඹුල්ල අතර තරගය පස්වරුවේදීද පැවැත්වෙනු ඇත.
ගාල්ලට ලකුණු 36 ක ජයක්
ගාල්ල අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 121 යි – (නෙතඟි ඉසුරාංජලී 25, ලක්ණි නිම්සරා 15, රිශ්මි සංජනා 30*, ධරණි දිසානායක 27/, ප්‍රමුදි මෙත්සරා 21/2
මහනුවර අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායම පන්දුවාර 20 කදී සියලු දෙනා දැවී ලකුණු 85 යි – (හිරුණි දිසානායක 16, විමෝක්ෂා බාලසූරිය 32, රිශ්මි සංජනා 14/4, දිනිති ප්‍රතිභාෂිනී 06/2)
කොළඹට ලකුණු 57 ක ජයක්
කොළඹ අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 101 යි – (උමයංගනා පීරිස් 11, යෙසලි ජිතාරා 24*, නෙතුකි කුඩලිගම 27, දනෝද්‍යා සෙව්මිණි 24/2, නෙත්මි උපේක්ෂා 15/2)
දඹුල්ල අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායම පන්දුවාර 12.2 කදී සියලු දෙනා දැවී ලකුණු 44 යි – (චතුමිනී සඳකිරණි 13, දිනිති නාගසිංහ 18/4, යෙසලි ජිතාරා 07/2, ලිමංසා තිලකරත්න 12/2)






