slc
logo
Home   |    News
ජූලි 12, 2025
දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව

sinhala editor

ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි අවධානයක් යොමු කර සිටි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කණ්ඩායමේ පන්දු රැකීම දැන් ඇදහිය නොහැකි වඩාත් ජවසම්පන්න ප්‍රවේශයක් ලබා සිටීම බංග්ලාදේශයට එරෙහි එක්දින සහ පන්දුවාර විස්සයි-20 තරගාවලියෙහි දැක ගත හැකි විය.

තරග 3 කින් සමන්විත දෙරට අතර පන්දුවාර විස්සයි-20 තරගාවලියේ දෙවැනි තරගය සඳහා ලක ලෑස්තිවූ අද (12 දා) දිනයේදී ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුවීමට හේතුවූයේ එම තරගය පිළිබඳ අදහස් දැක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන මහතා මාධ්‍ය හමුවට පැමිණීමත් සමගය.

 “ඇත්තටම බැලුවොතින් 2024 වසරේදි පන්දු රැකීමේ අංශයෙන් අපි පොඩ්ඩක් අපි පල්ලෙහාට ගිහිල්ලා තිබ්බා. ඊට පස්සේ 2024 අපි අවධානය යොමු කරලා බැලුවා මොනවද ඒ වෙනුවෙන් කරන්න ඕනෙ කියන එක. එතැනදි අපි අපේ ෆිට්නස් ලෙවල් එක වැඩි කරගත්තා. ඒ විතරක් නොවෙයි අපි පන්දු රැකීම වෙනුවෙන් සිදුකරන පුහුණු වාර ගණන වැඩි කළා. ඒ කියන්නේ අපි කළින් විනාඩි විස්සක් කළා නම් ඒක විනාඩි 40 ක් කළා“ යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු අංශය ප්‍රශස්ථ මට්ටමකට රැගෙන ඒම වෙනුවෙන් තිරස පිටුපස මහ මෙහෙය සිදුකරන ලද  පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන අදහස් දක්වා සිටියේය.

“මං හිතනවා මට වැඩිම අභියෝගය තිබුණේ පන්දු යවන්නන්ගේ පන්දු රැකීමේ පැත්ත දියුණු කරන එක. ඒ වෙනුවෙන් එයාලා ගොඩක් කැප වෙනවා. ඒක අපිට ලොකු පන්නරයක් වුණා පසුගිය තරග වලදී. ඒ දේවල් එක්ක තමයි අපිට මෙච්චර හොඳට කරන්න පුලුවන් වුණේ කියලා“ යැයි උපුල් චන්දන වැඩිදුරටත් පවසයි.

දෙරට අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 245 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම 17 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වද්දී එක් කඩුල්ලකට ලකුණු 100 ක් ලබා සිටියේ ජයග්‍රහණයට අත පොවන මානයට පැමිණෙමිනි. එම අවස්ථාවේදී ටැන්සිඩ් හසන් සහ හිටපු නායක නජ්මුල් හසන් ෂැන්ටෝ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක් පවත්වමින් තරගයේ පාලනය අතට ගෙන සිටියහ. එහෙත් වේග පන්දු යවන මිලාන් රත්නායක කුසල් මෙන්ඩිස්ගේ සහාය ද රැගෙන ෂැන්ටෝව දුවද්දී දැවී යෑමකට හසු කර ගැනීමට සමත්වීමත් ඉනිමේ වැඩිම ලකුනු ලාභියා වූ ටැන්සිඩ් හසන්ව (62) දවා ගැනීම වෙනුවෙන් ජනිත් ලියනගේ රැකගත් අති විශිෂ්ඨ උඩ පන්දුවත් තරගයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත්විය.

එයින් කියැවෙන්නේ උපුල් චන්දන ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ධුරය භාර ගැනීමෙන් පසු පන්දු රැකීම, පන්දු යොමු කිරීමේ නිවැරද්‍ය තාවය මෙන්ම සමස්ථ ක්‍රියාවලියම වඩා නිවරද්‍යතාවයට සම තීවෘතාවයට පත් කිරීම සඳහා වැඩි කැපකිරීමක් සිදු කොට තිබෙන බවයි.

“ඇත්තටම ඒ උඩ පන්දුව ගැන මට අදටත් හරි සංතෝෂය ඒක මට මාර විදියට ඇඟට සහ හදවතට දැනෙනවා“ යැයි ජනිත් ලියනගේ රැක ගත් උඩ පන්දුව පිළිබඳව තමා තුළ වූ අදහස සඳහන් කර සිටි පන්දු රැකීමේ පුහුණුකරු, “ඒ වගේම අපි මතක් කරන්න ඕන මිලාන් රත්නායක ගත්ත රන් අවුට් එක. ඒ දෙක මේ තරගාවලියම වෙනස් කරා. මං හිතන්නේ අපි බලාපොරොත්තු වෙන යම් කිසි වර්ධනයක්,හොදක් දකිනවා නම් එකෙ ක්‍රෙඩිට් එක යන්න ඕන මහන්සිවෙල වැඩ කරන අපේ ක්‍රීඩකයින්ට“ යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

ගෙවී ගිය 2023 වසරේදී සිට එක්දින තරග අංශයේ උඩ පන්දු රැකීම පිළිබඳව සංඛ්‍යාත්මකව ගෙන බැලීමේදී එය 63% ක අගයක් ගෙන තිබුණද ඉකුත් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි තරගාවලියට පෙර එය 83% ක් දක්වා වර්ධනයක් ලබා ගැනීමට උපුල් චන්දනගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවී තිබේ. එය නිමාවට පත් වුණු බංග්ලාදේශ තරගාවලියේදී 100% ක් බව ද ඔහු සඳහන් කර සිටියි.

“ඇත්තටටම විශ්වාය තමයි. විශ්වාසය පැත්ත වැඩි දියුණු කරන්න තමයි අපි නිතරම අවධානය යොමු කළේ. පුලුවන් කියන දේ අපිට ඔවුන්ට දෙන්න ඕන වෙලා තිබ්බා“.

“පන්දු යවන්නන් සමහර වෙලාවට ගුටි කන්න පුලුවන්. පිතිකරුවන්ට වැඩි ලකුනු සංඛ්‍යාවන්ට යන්න බැරි වෙන්න පුලුවන්. නමුත් පන්දු රැකීමෙන් හැම දෙනාටම කණ්ඩායම වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන්. ඒ ගැන අපි එයාලට කියලත් තියෙනවා. මෙය ඇත්තටම බැලුවොත් අභියෝගක්. මේක හරියට විනෝදයෙන් කළොත් තරගයක් ඉවර වෙද්දි තමුන්ට සතුටක් ලබා ගන්න පුලුවන් විදියට කරන එක තමයි අපි ඒගොල්ලන්ට කියලා තියෙන්නේ. ඒ ගොල්ලොන් උපරිමයෙන්ම ඒක කරන්න බලනවා“ යැයි උපුල් චන්දන මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගය හෙට (13 දා) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හෙට තරගයේ ජය ප්‍රමාණවත් වනු ඇත. තරගාවලිය අරඹමින්  පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටියි. එබැවින් තරගාවලියේ තවදුරටත් අපරාජිත භාවය රඳවා ගැනීමට නම් බංග්ලාදේශ කණ්ඩායමට හෙට තරගයේ ජය අතිශය වැදගත් වනු ඇත..

ශ්‍රී ලංකා කණ්ඩායම – චරිත් අසලංක (නායක), දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, චාමික කරුණාරත්න, කමිදු මෙන්ඩිස්, දසුන් ශානක, බිනුර ප්‍රනාන්දු, එෂාන් මාලිංග, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර, ජෙෆ්රි වැන්ඩර්සි, දුනිත් වෙල්ලාලගේ, 

බංග්ලාදේශ කණ්ඩායම – ලිටන් දාස් (නායක), ජැකර් අලී, මොහොමඩ් නයිම්, පර්වේස් හෝසේන් එමෝන්, ටැන්සිඩ් හසන්, තව්හිඩ් රිඩෝයි, මෙහෙදි හසන් මිරාස්, මෙහෙදි හසන්, මොහොමඩ් සයිෆුඩීන්, නසුම් අහමඩ්, රිෂාඩ් හොසේන්, ශමීම් හොසේන්, ටැන්සිම් හසන් සකීබ්, මුස්ටෆිසුර් රෙහ්මාන්, ෂොරිෆුල් ඉස්ලාම්, ටස්කින් අහමඩ්.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar