ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මේ දින වල ගාල්ලේදී පැවැත්වෙන වයස අවුරුදු 17 න් පහළ පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ශතක ලාභියා බවට පත්වීමට ගාල්ල කණ්ඩායමේ නායක අරෝෂ සිතුමිණ සමත්වූවේය. දඹුල්ල කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයේදී පන්දු 92 කට මුහුණ දුන් වමතින් පිත්ත හසුරුවන අරෝෂ සිතුමිණ ලකුණු 102 කින් සමන්විත තම ඉනිම හයේ පහර 7 කින් සහ හතරේ පහර 10 කින් වර්ණවත් කර ගත්තේය.
මේ අතර අද දිනයේදී පැවැති තරග දෙකම ඉතාමත් තියුණු මුහුණුවරක් ගනිමින් අවසන් වීම කැපී පෙනිණ. මේ අතරින් වඩාත් කැපී පෙනුණු තරගය බවට පත්වූයේ මහනුවර කණ්ඩායම සහ කොළඹ දකුණු කණ්ඩායම අතර තරගය විය.
ඉදිරි පෙළ කඩුලු 8 ම ලකුණු 95 ක් ඇතුළත බිඳ වැටුණද 9 වැනි කඩුල්ලට එක් වුණු ස්ටීවොන් පීරිස් (78) සහ අංක 10 පිතිකරු මතීෂ අපෝන්සු එක්ව පන්දු 109 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් නොවන්නට තරගාවලියේ මෙතෙක් පවත්වාගෙන ආ අපරාජිත භාවය තවදුරටත් පවත්වාගෙන යෑම කොළඹ දකුණු කණ්ඩායමට සිහිනයක් වන්නට ඉඩ තිබිණ. කෙසේ වෙතත් මෙම සම්බන්ධතාව ප්‍රධාන කොට මහනුවර කණ්ඩායමට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට කොළඹ දකුණු කණ්ඩායමට හැකියාව ලැබුණා පමණක් නොව තරවග 2 කදී සිය අපරාජිත භාවයද තවදුරටත් රැක ගැනීමටද අවස්ථාව උදාවිය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම පන්දුවාර 49.1 කදී සියලු දෙනා ලකුණු 197 කට දැවී ගිය අතර එම ඉලක්කය හඹා යෑමේදී කොළඹ ඉනිමේ මැද පෙළ පිතිකරුවන් දුර්වල විය. කෙසේ වෙතත් අංක 6 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි ස්ටීවන් පීරිස් තරගයේ බර කරට ගනිමින් පන්දු 107 කදී ලකුණු 78 ක් රැස් කළේ හතරේ පහර 10 ක්ද තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි.
කෙසේ වෙතත් මුලු ලකුණු සංඛ්‍යාව 171 ක්ව තිබියදී හෙවත් ජයග්‍රහණයට ලකුණු 27 ක් ලබා ගත යුතුව තිබියදී ස්ටීවන් පීරිස් දුවද්දී දැවී යෑමකට හසුවීම නිසා තරගය තවත් උණුසුම් වන්නට විය. එහෙත් අවසන් පිතිකරුවා වූ ඔෂඳ මනහරව අනෙක් අන්තයෙන් රඳවාගත් මතීෂ අපෝන්සු පන්දු 80 කදී ලකුණු 46 ක් ලබා ගනිමින් කණ්ඩායමේ අපරාජිත භාවය තවදුරටත් රැක ගැනීමට දායකත්වය දැක්වූවේය. එම ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් වද්දී අනෙක් අන්තයේ රැඳී සිටි මනහර පන්දු 16 කදී ලකුණු 07 කින් දායකත්වය ලබා දී තිබුණේය.
මේ අතර කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති අනෙක් තරගය වූ දඹුල්ල කණ්ඩායමට එරෙහිව ගාල්ල කණ්ඩායම තරග වැදි තරගයට අයහපත් කාලගුණය හරවූයෙන් තරගයේ ප්‍රතිඵලය ගාල්ල කණ්ඩායමට වාසි දායක ලෙසින් හිමිවූයේ ලකුණු 15 ක ජයක් සනිටුහන් වෙමිනි.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 42.3 කදී ලකුණු 221 කට සීමා වුණු අතර එම ඉලක්කය හඹා යෑමේදී තරගයට වර්ෂාව හරස් විය. ඒ අනුව ඔවුන්ට පන්දු වාර 35 කදී ලකුණු 185 ක ඉලක්කයක් හිමි වුවත් නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසන් වන විට දඹුලු කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 169 ක් පමණි.
පළමුව පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම වෙනුවෙන් නායක අරෝෂ සිතුමිණ සමග ඉනිම ඇරැඹි පුල්ජිත් වත්සුක (44) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 109 කදී වේගවත් ලකුණු 122 ක සම්බන්ධතාවත් පැවැත්වීිමට සමත්වූහ. දෙවැනි කඩුල්ල වෙනුවෙන් ද නායකයාට එක් වුණු සෙහස් අශිංස (11) පන්දු 53 කදී ලකුණු 46 ක් එක් කිරීමට දායකත්වය දැක් වුවද මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන් අසාර්ථවීම නිසා මීට වඩා ලකුණු සංඛ්‍යාවකට යෑමට තිබූ අවකාශය ගාල්ල කණ්ඩායමට අහිමි විය.
එය තවත් විදියකට අර්ථ දක්වන්නේ නම් කඩුල්ලකට ලකුණු 168 ක් ලෙසින් සටහන් වුණු ලකුණු පුවරුව තවත් ලකුණු 53 ක් එකත් වන විට කියැවුණේ ලකුණු 221 කට සියල්ලෝම දැවී යෑමෙනි. පන්දු යැවීමේදී මුරලි තිසොන් සහ චමෝද් ප්‍රභාෂණ කඩුලු 3 බැගින් බිඳ හෙළා පන්දුවෙන් දස්කම් දැක්වූහ.
එම ඉලක්කයහඹා යෑමේදී දඹුල්ල පිල වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වුණු හිමත් පණ්ඩිතරත්න පන්දු 96 කට මුහුණ දී ලකුණු 81 ක් ලබා ගත්තේය. හයේ පහරක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් වුණු හිමත්ගේ ඉනිම දුවද්දී දැවී යෑමකට හසුව අවාසනාවන්ත ලෙස නිමාවට පත්විය. තරගයේ තීරණාත්මකම කඩුල්ල බවට පත් වෙමින් ඉනිමේ 9 වැනි පිතිකරුවා ලෙසින් හිමත් දැවී යන විටත් මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 9 කට ලකුණු 157 ක් ලෙසින් සනිටුහන්ව තිබිණ.
ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ගාල්ලට ලකුණු 15 ක ජයක්
ගාල්ල කණ්ඩායම පන්දුවාර 42.3 කදී සියලු දෙනා දැවි ලුණු 221 යි – (අරෝෂ් සිතුමිණ 102, පුල්ජිත් වත්සුක 44, සෙහස් අශිංස 11, විමුක්ති හේරත් 20, යසිරු ලක්ෂාන් 12, චමෝද් ප්‍රභාෂණ 31/3, මුරලි තිසෝන් 45/3, දිහාන් මුණසිංහ 29/2)
කුරුණෑගල පන්දුවාර 35 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 169 යි – (හිමත් පණ්ඩිතරත්න 81, මහීෂ් සිතුම් 13, දිහාන් මුණසිංහ 16*, රවීන් සචින්ත 37/2)
කොළඹ දකුණට කඩුල්ලක තියුණු ජයක්
මහනුවර කණ්ඩායම පන්දුවාර 49.1 කදී සියලු දෙනා දැවී ලකුණු 197 යි – (සනිතු ගුණතිලක 44, පියුමක කරුණාරත්න 24, ප්‍රවීන් ගමගේ 16, යෙනුල හේවාවිතාරණ 25, චනුල් කොඩිතුවක්කු 19, මනුත් මින්දිය 18, සංජන සචින්ච්‍ර 14*, ගිම්හාන් මෙන්ඩිස් 30/3, සහඳු සූරියආරච්චි 32/3, රුසඳ සිල්වා 332/3)
කොළඹ දකුණ පන්දුවාර 49.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 198 යි – (ස්ටීවොන් පීරිස් 78, මතීෂ අපෝන්සු 46*, රෙහාන් පීරිස් 20, හිරුන් මතීෂ 16, දිල්මිත් විමෝස් 30/3, චනුල් කොඩිතුවක්කු 27/2, සංජන සචින්ද්‍ර 48/2)







