slc
logo
Home   |    News
අගෝස්තු 26, 2025
මහනුවර – කොළඹ උතුර සහ කොළඹ දකුණ – ගාල්ල අවසන් 4 දී ගැටෙති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකා යූත් ලීග් වයස අවුරුදු 17 න් පහළ සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් දිනය බවට පත්වූ අද (26 දා) දිනයේ පැවැති තරග වලදී කොළඹ දකුණු කණ්ඩායමට සහ ගාල්ල කණ්ඩායම් වලට එරෙහිව පෙරැළිකාර ජයග්‍රහණ වාර්තා කිරීමට කොළඹ උතුරු සහ මහනුවර කණ්ඩායම් සමත්වූහ.

කොළඹ උතුරු කණ්ඩායමට එරෙහිව කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩා පිටියේ පැවැති තරගයේදී කොළඹ දකුණු කණ්ඩායම ලද අනපේක්ෂිත කඩුලු 3 ක පරාජය හේතුවෙන් මෙතෙක් දිනක් ඔවුන් පවත්වාගෙන ආ අපරාජිත භාවය බිඳ වැටුණා පමණක් නොව ප්‍රසාද ලකුණු සටහනේද පළමු ස්ථානයේ සිට දෙවැනි ස්ථානය දක්වා පහත වැටිණ.

මේ අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ගාලු කණ්ඩායමට එරෙහිව මහනුවර කණ්ඩායම ලද ලකුණු 43 ක ජයත් සමඟ ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණෙමින් හෙට දිනයේ පැවැත්වෙන අවසන් පූර්ව තරග වටයට ක්‍රීඩා කිරීමට වරම් ලබා ගත්තේය.

ඒ අනුව හෙට දිනයේදී මහනුවර කණ්ඩායම සහ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ රැඳී සිටින කොළඹ උතුරු කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තරග වදින අතර කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩා පිටියේ පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේදී කොළඹ දකුණ සහ ගාලු කණ්ඩායම් තරග වදිනු ඇත.

තරගයේ ප්‍රථමයෙන්ම ප්‍රතිඵල ගෙන දුන් තරගය බවට පත් වූ කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩා පිටියේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කොළඹ දකුණු කණ්ඩායම  පන්දුවාර 37.5 කදී ලකුණු 155 කට සීමා කිරීමට ශවීන් පෙරේරා ප්‍රමුඛ කොළඹ උතුරු පන්දු යවන්නෝ සමත්වූහ. මෙහිදී ශවීන් කඩුලු 3 ක් දවා ගන්නා අතර වාරයේදී මිනුග සෙත්සර සහ කෞෂික තිලකරත්න කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ උතුරු කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 37.5 කදී රැස් කර ගන්නා ලද්දේ කඩුලු 7 ක් පමණක් දැවී ගොස් තිබියදීය. ජයග්‍රාහී පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී කොළඹ උතුරු කණ්ඩායමේ පළමු කඩුලු 2 ම ලකුණු 15 කදී බිඳ වැටුණද තෙවැනි කඩුල්ලට එකතු වූ කවිත ද සිල්වා සහ මිහින් සොයිසා පන්දු 92 කදී ඉවසිලිවන්තව ලකුණු 68 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය සඳහා ප්‍රධාන අඩිතාලම එක් කළහ.

මෙහිදී අගනා අර්ධ ශතකයක් වාර්තා කළ කවිත ද සිල්වා හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් පන්දු 95 කදී ලකුණු 60 ක් ලබා ගත්තේය. මෙවර තරග වාරයේ පළමු තරගයට ක්‍රීඩා කරන ලද මිහින් සොයිසා ලබා ගත්තේ ලකුණු 29 ක් වුවත් එය කණ්ඩායම අසීරුතාවයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් වැඩි වටිනාකමක් එක් කරවන්නක් විය. පන්දු 38 කදී වාර්තා වුණු මිහින්ගේ ඉනිම හතරේ පහර 3 කින් වර්ණවත් විය.

මේ අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති අනෙක් තරගයේදී පළමුව පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම පන්දුවාර 46 කදී සියලු දෙනා දැවී රැස් කරන ලද ලකුණු 204 ක ලකුණු සංඛ්‍යාව හඹා යෑමේදී ප්‍රභල පිතිකරුවන්ගෙන් සමන්විත ගාලු කන්ඩායමට පන්දුවාර 38.5 කදී රැස් කර ගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 161 ක් පමණි.

මහනුවර කන්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු චනුල් කොඩිතුවක්කු පන්දු 73 කදී ලකුණු 62 ක් ලබා ගත්තේ හතරේ පහර 11 කින් තම ඉනිම වර්ණවත් කර ගනිමිනි. මහනුවර ඉනිම අග්ගිස්සෙන් පන්දුවට පහර දීමට පැමිණි දිල්මිත් විමෝෂ්, ජයෝද්‍ය කඩිගමුව සහ කෙනුල පිහිලිංග ලකුණු 33 ක් එක් කරමින් එම ඉනිමේ ලකුණු සංඛ්‍යාව 200 ඔබ්බට රැගෙන ගියහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ගාලු කණ්ඩායම සතු ප්‍රභලම පිතිකරුවා හෙවත් මෙවර තරග වාරයේ එකම ශතක ලාභියා වන නායක අරෝෂ් සිතුමිණව ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට චනුල් කොඩිතුවක්කු සමත්වූවේය. එම පසුබෑමත් සමගම දිග හැරුනු ගාලු ඉනිමේදී මැද පෙළින් පැමිණි මනිත රාජපක්ෂ (38) සහ තියෝන් හෙලික (37) හැරුණු කොට වෙනත් කිසිදු පිතිකරුවකුට ලකුණු අතරට පැමිණිමට අපොහොසත් විය.

මහනුවර පිල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ චනුල් කොඩිතුවක්කු පන්දු යවමින් ලකුණු 28 කට කඩුලු 3 ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීය. ඔහුට අමතරව ජයෝද්‍ය කඩිගමුව ලකුනු 30 කට කඩුලු 4 ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූවේය.

සුපිරි පළාත් කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාවලියේ මූලික වටයෙන් ඉවතට විසිවුණු කණ්ඩායම වූයේ දඹුල්ල කණ්ඩායම වන අතර ඔවුනට මූලික වටය යටතේ සහභාගි වූ එකම තරගයක් හෝ ජය ගත නොහැකි විය.

කොළඹ උතුරට කඩුලු 3 ක ජයක්

කොළඹ දකුණ පන්දුවාර 37.5 කදී සියලු දෙනා දැවී ලකුණු 155 යි – (රෙහාන් පීරිස් 33, සීමන් අනුහස් 35, තෙවිඳු වේවැල්වල 10, හිමරු දේශාන් 10, ගිම්හාන් මෙන්ඩිස් 14, ශවීන් පෙරේරා 24/3, මිනුග නෙත්සර 28/2, කෞෂික තිලකරත්න 21/2)

කොළඹ උතුරු පන්දුවාර 37.5 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 158 යි – (කවිත ද සිල්වා 60, මිහින් සොයිසා 29, සෙනුල් වීරරත්න 15, ශවීන් පෙරේරා 11, ගිම්හාන් මෙන්ඩිස් 16/2)

මහනුවර ලකුණු 43 ක ජයක්

මහනුවර පන්දුවාර 46 කදී සියලු දෙනා දැවී ලකුණු 204 යි – (චනුල් කොඩිතුවක්කු 62, යෙනුල හේවාවිතාරණ 23, දිනුල් විජේසිංහ 21, පියුමක කරුණාරත්න 18, ජයෝද්‍ය කඩිගමුව 21, දිල්මිත් විමෝෂ් 24*, රුමේන් පීරිස් 18/2, තියෝන් හෙලික 44/2,, කවික මදුසංක 36/2, ප්‍රවීන් මදුශංක 33/2)

ගාල්ල පන්දුවාර 38.5 කදී සියලු දෙනා දැවී ලකුණු 161 යි – (මනිත රාජපක්ෂ 38, කවික මදුසංක 18, තියෝන් හෙලික 37, පූජිත් වත්සුක 10, සෙහස් අශිංස 12, ප්‍රවීන් මදුශංක 14, චනුල් කොඩිතුවක්කු 28/3, කෙනුල පිහිලිංග 23/2, ජයෝද්‍ය කඩිගමුව 30/4)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee