අන්තර් පළාත් ක්‍රීඩා සමාජ දෙවැනි පෙළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කලුතර නගර ක්‍රීඩා සමාජය දිනා ගත්තේය. කොළඹ බීආර්සී පිටියේ අද (1) පැවැති අවසන් මහා තරගයේදී කලුතර නගර ක්‍රීඩා සමාජය විසින් ලකුණු 177කින් ඕල්ඩ් ආනන්දියන් පිල පරාජය කොට ශූරතාව දිනා ගැනීමට සමත් විය.
කාසියේ වාසිය දිනාගත් ඕල්ඩ් ආනන්දියන් පිල මුලින් පන්දුවට පහරදීමට කලුතර නගර ක්‍රීඩා සමාජයට ආරාධනා කළ අතර, එහිදී කලුතර පිල ඕවර් 49. 5කදී ලකුණු 354ක් රැස්කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕල්ඩ් ආනන්දියන් පිල ඕවර් 50කදී කඩුලු 8කට ලකුණු 177කට දැවී ගියේය.
කැපී පෙණෙන දක්ෂතා දැක්වීම හේතුවෙන් තරගයේ වීරයා සම්මානය දිනාගත් කලුතර නගර ක්‍රීඩා සමාජයේ තුෂාර රණසිංහ පන්දු 107කදී හයේ පහර 12ක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 150ක් රැස් කිරීමට සමත්වීම කැපී පෙණුනි. අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි තුෂාර රණසිංහ තෙවැනි කඩුල්ලට ඩිනෝෂ් ජෙලෝන් සමඟ එක්ව පන්දු 140කදී ලකුණු 158ක් එක්කළ අතර, සිව්වැනි කඩුල්ලට සුමුදු සමීර සමඟ එක්ව පන්දු 55කදී ලකුණු 76ක් එක් කිරීමෙන් කලුතර නගර ක්‍රීඩා සමාජ ඉනිම ශක්තිමත් විය. ඩිනෝෂ් ජෙලෝන් ලකුණු 56ක් හා සුමුදු සමීර ලකුණු 42ක් එක් කිරීමට සමත් වූහ.
ඕල්ඩ් ආනන්දියන් පිල ආරම්භයේදී හොඳින් තරගයට අවතීර්ණවී කඩුලු 3කට ලකුණු 91ක් ලබා සිටි අතර, අනතුරුව මැද පෙළ කඩුලු 4ක් ලකුණු 22ක් තුල දැවී යෑමෙන් ලකුණු වේගය අඩාල විය. කලුතර නගර ක්‍රීඩා සමාජයේ තර්ජනාත්මක පන්දු යැවීම හමුවේ වුවද ඕල්ඩ් ආනන්දියන් පිලේ ආරම්භක පිතිකරු දනිඳු සෙල්ලප්පෙරුම ලකුණු 45ක් ලබාගත් අතර, අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි සාරද ජයතිලක ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වූවේය.
අවසන් මහා තරගයට පිවිසි කලුතර නගර ක්‍රීඩා සමාජ පිල අවසන් පූර්ව තරගයේදී රජරට ක්‍රීඩා සමාජය කඩුලු 7කින් පරාජය කළ අතර, ඕල්ඩ් ආනන්දියන් පිල අනෙක් අවසන් පූර්ව තරගයේදී ඕල්ඩ් ට්‍රිනිටියන් ක්‍රීඩා සමාජය අභිභවා ඉදිරියට පැමිණියේය.
අවසන් මහා තරගයේ ජයග්‍රාහී කලුතර නගර ක්‍රීඩා සමාජයට හා අනු ශූරතාව දිනාගත් ඕල්ඩ් ආනන්දියන් පිලට හා දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්ට මුදල් තෑගි හා සම්මාන ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා තිබිණි.
කලුතර නගර ක්‍රීඩා සමාජ පිල සියලු දෙනා දැවී ලකුණු 354 (ඕවර් 49. 5)
දහම් විමුක්ති 29, තුෂාර රණසිංහ 150, ඩිනෝෂ් ජෙලෝන් 56, සුමුදු සමීර 41, නිකලෝ ෂෙරෝන් 16, අතිරේක 17 (චමත්ක ඉරූෂ 39/2, බිනර ඉඳුවර 62/3, සාරද ජයතිලක 72/2)
ඕල්ඩ් ආනන්දියන් පිල කඩුලු 8කට ලකුණු 177 (ඕවර් 50)
දනිඳු සෙල්ලප්පෙරුම 45, නෙතුල එදිරිමාන්න 19, ඔවින් පෙරේරා 19, සාරද ජයතිලක 30, බිනර ඉඳුවර නොදැවී 17 (කවිඳු කෞෂල්‍ය 35/3, ෂනල් බිනුක්ෂ 15/2)




