ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් ප හල කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය යටතේ පැවැත්වෙන පළමු තුන්දින තරගයේ පළමු දිනය තුළදී දෙපිළේම කඩුලු 22 ක් දැවී ගියද දෙවැනි ඉනිමේදී ඒ වැරැද්දම යළිත් සිදු නොවීමට ඉඩ නොදුන් බංග්ලාදේශ යොවුන් පිතිකරුවෝ දෙවැනි දිනය වූ අද (28 දා) තරගය නිමා කරන විට ලකුණු 248 කින් පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය. පළමු දිනය ඇතුළතදීි දෙපිළේම කඩුලු 20 සහ බංග්ලාදේශ ඉනිමේ කඩුලු 2 ක් ද දැවී ගිය නමුත් අද දිනයේදී ඔවුන් ප්‍රතිවාදී ශ්‍රී ලංකාව හමුවේ ලබා දෙ ලද්දේ කඩුලු 6 ක් පමනි.
මීර්පූර්හි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී පළමු ඉනිමේ ලද ලකුණු 18 ක වාසිය සමඟ දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ යොවුන් කණ්ඩායම දෙවැනි දිනට තරගය අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 230 ක් රැස් කරගෙන සිටියේය. ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් පන්දුවෙන් කැපී පෙනුණු වමත් දඟ පන්දු යවන හිමරු දේශාන් ලකුණු 83 කට බංග්ලාදේශ ඉනිමේ දැවී ගිය කඩුලු 8 න් කඩුලු 6 ක් දවා ගැනීමට සමත්ව සිටියේය.
ලකුණු 28 කට කඩුලු 2 ක් දැවි ගොස් තිබියදී දිනය ආරම්භ කළ සත්කාරක කණ්ඩායම පන්දුවට පහර දෙද්දී ඇතිවූ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය පවත්වාගෙන යෑම සදහා විදුලි ආලෝක ධරාද යොදා ගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය.
හිමරු දේශාන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ දෙවැනි ඉනිම අතරතුරදී කඩුලු 5 කට ලකුණු 70 ක් ලෙසින් අසීරුතාවයකට මුහුණ දී සිටි නමුත්, 6 වැනි කඩුල්ලට එක් වුණු රකිබුල් හොසේන් සහ ජුනයිඩ් හොසේන් ලකුණු 92 ක සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු 150 සීමාවෙන් ඔබ්බට ලකුණු පුවරුව රැගෙන ආහ. එම සම්බන්ධතාව අවසන් වූයේ මුලු ලකුණු සංඛ්‍යාව 162 දීය.
අනතුරුව 7 වැනි කඩුල්ලට ලකුණු 59 ක සම්බන්ධතාවත් පැවැත්වූ ජුනයිඩ් හොසේන් සහ සෞරව් කාර්මකාර් බංග්ලාදේශ ලකුණු පුවරුව 200 ට එහායින් තැබීමට මූලිකත්වය ගෙන පන්දුවට පහර දුන්නේය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින ජුනයිඩ් හොසේන් පන්දු 216 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 87 ක් ලබා සිටියි.
බංග්ලාදේශ අවුරුදු 17න් පහළ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 39.3 කදී සියලුම දෙනා දැවී ලකුණු 120 යි – (ලෝරන්ස් රෝයි 19, අඩ්රිටෝ ගෝෂ් 36, ජුනයිඩ් හොසේන් 19, Md. රකිබුල් හොසේන් 20, ගිම්හාන් මෙන්ඩිස් 14/2, හිමරු දේශාන් 20/2, මානිත රාජපක්ෂ 29/4)
ශ්‍රී ලංකා අවුරුදු 17න් පහළ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 27.4 කදී සියලුම දෙනා දැවී ලකුණු 102 යි (සනුල් වීරරත්න 27, හිමරු දේශාන් 24, මෙහොමඩ් අකාෂ් 33/2, මහීනුජ්මාන් ජබීර් 22/3, නුබයෙට් අලාම් 30/2, ශිදුල් ඉස්ලාම් 15/2)
බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම දෙවැනි ඉනිම පන්දුවාර 98 කදී කඩුලු 8ක් දැවී ලකුණු 230 යි කවුසාර් අහමඩ් 18, රකිබුල් හොසේන් 41, ජුනයිඩ් හොසේන් 87*, සෞරවු කාමකාර් 25, හිමරු දේශාන් 83/6)






