slc
logo
Home   |    News
නොවැම්බර් 27, 2025
පාකිස්තානයට එරෙහි ලකුණු 06 ක තියුණු ජයකින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුල්ල පනිති

sinhala editor

දිගින් දිගටම දක්ෂතාවයන් පවත්වාගෙන යෑමට නොහැකිවීම ශ්‍රී ලංකාව පසුගිය කාල මුලුල්ලේ මුහුණ දුන් බරපතල ගැටලුව විය. එක් දිනක් දක්ෂතාවයන්ගේ හිණි පෙත්තටම පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඊට පසු දින තරගයේදී අසාර්ථකත්වයට පත්වන්නේ අදහාගත නොහැකි අන්දමිනි. එහෙත් පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී එසේ නොවීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වග බලාගත්හ.

තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවූ පළමු තරග දෙකම පාකිස්තානය සහ සිම්බාබ්වේ හමුවේ පරාජයට පත්වීම නිසා ලබන 29 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම ශ්‍රී ලංකාවට අභියෝගාත්මක විය. සිම්බාබ්වේට එරෙහිව පැවැති දෙවැනි තරගයේදී අළුගසා නැගිටි ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයේදී ගොඩනගාගත් ජයග්‍රාහී රිද්මය පාකිස්තානයට එරෙහිව තරගයේදීද එලෙසින්ම රඳවා ගැනීමට සමත් වූවේය.

ඔවුහු අද (27 දා) රාත්‍රියේදී පාකිස්තානු කණ්ඩායමට එරෙහිව ලකුණු 6 ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කළේ කලකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් මහ තරගයක් ක්‍රීඩා කිරීම දැක බලා ගැනීම වෙනුවෙන් සුවහසක් ශ්‍රී ලාකික ක්‍රීඩා ලෝලීන් තබා තිබූ බලාපොරොත්තු මල්ඵල නංවමිනි.

අනිවාර්යය වූත් සුවිශේෂීවූත් ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවා වූයේ දුෂ්මන්ත චමීරය. විස්සයි-20 තරගයක අවසන් පන්දු 6 දී ලකුණු 10 ක් බේරා ගැනීම කිසි සේත් පහසු නොවන කටයුත්තක් නොවුවත්, එම කාර්යය ඉහටත් උඩින් චමීර ඉටු කළේය. ඒ අවසන් පන්දුවාරය කඩුල්ලක්ද දවා ගනිමින් ලකුණු 03 කට සීමා කරමිනි.

දුෂ්මන්තගේ පළමු  පන්දුවට මුහුණදීමට  සූදානම්ව සිටියේ පන්දු 44 කදී ලකුණු 63 ක් ලබාගනිමින් පාකිස්තානු කණ්ඩායමට ජයග්‍රාහී බලාපොරොත්තු එක් කළ නායක අඝා සල්මන්ය. ලෙග් කටර් ලෙසින් දුෂ්මන්ත එවන ලද පළමු පන්දුව හමුවේ අඝා සල්මන් සම්පූර්ණයෙන් අසාර්ථක වූවේය. දෙවැනි පන්දුවට එක් ලකුණකට පැති මාරු වූ අඝා සහ ෆයීහ් අෂ්රෆ් යුගලය, ලෝන් ඕන් කළාපයේ පන්දු රැකි ජනිත් ලියනගේගේ දුර්වල පන්දු රැකීමේ වාසියද සමගින් ඊලඟ පන්දුවේදී ලකුණු 02 ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකාවට වාසිය හිමිවූයේ සිව්වැනි පන්දුවේදී අශ්රෆ් කඩුල්ල මුවා කළ පිතිකරුවකු යැයි කරන ලද ඉල්ලීමට විනිසුරු ප්‍රතිචාර දැක්වීම නිසාය. එහෙත් එම තීරණය අභීයෝගයට ලක් කිරීමේදීි එය නොදැවී යෑමක් ලෙසින් සනිටුහන් වුවත්, පිතිකරුවන් මාරුවීමක් හෝ පාකිස්තානු ලකුණු පුවරුවට ලකුණක් එක් නොවිණ. කෙසේ වෙතත් සිව්වැනි පන්දුවේදී අශ්රෆ් දසුන් ශානක වෙත උඩ පන්දුවක් දී දැවී යෑමත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පමණක් නොව ප්‍රධාන පුහුණුකු සනත් ජයසූරිය මහතාද සැනසුම් සුසුම් හෙළීය.

පාකිස්තානු ඉනිමේ පාලනය තනි අතට ගත් පන්දු යැවීමක් ලෙසින් සඳහන් කළ හැකි දුෂ්මන්ත චමීර අවසන් පන්දුවාරයේ දවා ගත් කඩුල්ලද සමග පන්දුවාර 4 කදී ලකුණු 20ට කඩුලු 4 ක් දවා තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේය.

පාකිස්තානු ආරම්භක පිතිකරුවන් ප්‍රෙව්ගකාරී ආරම්භයක් ලබා ගත්තද සිව්වැනි පන්දුවාරයේ සිට පන්දුවට අතට ගත් දුෂ්මන්ත චමීර එම පන්දුවාරය අවසන් කරන ලද්දේ ශිබ්සාදා ෆර්හාන් සහ බාබර් අසාම් පන්දු 3 කදී දවා ලමිනි. ඉන් නොනැවතුණු දකුණත් වේග පන්දු යවන්නා යළිත් 6 වැනි පන්දුවාරයේදී ෆකාර් සමාන්වද දවා ගනිමින් ශ්‍රී ලංකාවට වාසිය හරවා දුන්නේය. චමීරගේ පළමු පන්දුවාර දෙක නිමා වන විට ඔහුගේ පන්දු යැවීම සනිටුහන් වූයේ ලකුණු 05 කට කඩුලු 3 ක් ලෙසිනි.  

කාසියේ වාසිය දිනූ පාකිස්තානු නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවෝ කලකට අමතක කර දමා තිබූ පිතිහරඹය අද දිනයේදී යළි සොයාගෙන තිබුණහ. රාවල්පිණ්ඩිහි පැවැති මෙම තරගයේදී ඔවුහු පන්දුවාර 20 නිමා වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 184 ක් ලබා ගත්හ.

ඒ වෙනුවෙන් විශීෂ්ඨ පිතිහරඹයක නියැළුණු කමිල් මිශාර පන්දු 48 කදී ලකුණු 76 ක් රැස් කර ගත්තේය. ඉනිම ආරම්භයේ සිටම සිය ප්‍රහාරාත්මක පිතිහරඹ රටාවේ නියැළුණු වමත් තරුණ පිතිකරුවා, අවසන් පන්දුව වන තෙක්ම සිය පන්දුවට පහර දීමේ ප්‍රෙව්ශය වෙනස් නොකළේය. තත්ත්වයන්ට අනුව අපූරු ලෙස පිතිකරණයේ යෙදුණු වමත් පිතිකරුවා තම ඉනිම හතරේ පහර හයකින් සහ හයේ  පහර තුනකින් සරසා ගෙන සිටියේය.

ඔහුට අමතරව අනගි පිතිහරණයක නියැළුණේ කුසල් මෙන්ඩිස්ය. මිශාරට වඩා ප්‍රහාරාත්මක පිතිහරඹයක නිියැළුණු මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක සම්බන්ධතාවක් පැවැත්වීමට දායකත්වය දැක්වීය. ඉන් ලකුණු 40 ක්ම ගලා ආවේ මෙන්ඩිස්ගේ ඉනිමෙනි. අබ්රාර්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව මෙන්ඩිස් දැවී යන විට ඔහු පන්දු 23 කට පමණක් මුහුණ දී සිටියේය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන අවසන් මහ තරගය මේ මස 29 වැනිදා ප.ව. 6.30 ට ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 184 යි – (පැතුම් නිස්සංක 08, කමිල් මිශාර 76, කුසල් මෙන්ඩිස් 40, කුසල් පෙරේරා 06, ජනිත් ලියනගේ 24*, දසුන් ශානක 17, අබ්රාර් අහමඩ් 28/2, සයිම් ආයුබ් 19/1, සල්මන් මිර්සා 29/1)

පාකිස්තානය පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 178 යි – සල්මන් අඝා 63*, සයිම් ආයුබ් 27, උස්මාන් ඛාන් 33, මොහොමඩ් නවාස් 27, දුෂ්මන්ත චමීර 20/4, එසාන් මාලිංග 54/2, වනිඳු හසරංග 27/1)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee