slc
logo
Home   |    News
නොවැම්බර් 10, 2025
ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය හෙට

sinhala editor

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් පිල හා පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා ‍වේලාවෙන් හෙට පස්වරු 3ට රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

ශ්‍රී ලංකා පිල පසුගිය අගෝස්තු මාස‍යේ අවසන් වරට සහභාගිවූ එක්දින තරගාවලියේදී 2-0ක් ලෙස සිම්බාබ්වේ පරදා සිටින අතර, පාකිස්තානය දින තුනකට පෙර දකුණු අප්‍රිකාව 2-1කින් පරාජය කොට සිටින බැවින් ශ්‍රී ලංකාව හා පාකිස්තානය යන කණ්ඩායම් දෙකම විශාල විශ්වාසයකින් යුතුව මෙම තරගයට පිවිස සිටිති.

පාකිස්තානය මේ වසරේ එක්දින තරග 14කට ක්‍රීඩා කර ඇති අතර ඉන් ජයග්‍රහණය කර ඇත්තේ තරග හතරක් පමණි. එහෙත් ශ්‍රී ලංකා පිල මේ වසරේ එක්දින තරග 10කට ක්‍රීඩා කර එයින් තරග 7ක් ජයගෙන ඉදිරියෙන් සිටි.

දකුණු අප්‍රිකාවට එරෙහිව පාකිස්තානය ඉදිරිපත් කළ එක්දින සංචිත‍යේ සිටි දකුණත් පිතිකරු හසන් නවාස් ශ්‍රී ලංකාවට එරෙහි මෙම තරගාවලියෙන් ඉවත් කොට ඇති අතර, ඔහු වෙනුවට ආදේශකයෙකු නම් කර නැත. 23 හැවිරිදි හසන් නවාස් එරට ප්‍රමුඛතම පළමු පෙළ තරගාවලියට සහභාගී කරවීම අපේක්ෂාව වේ. ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි20 තුන්කොන් තරගාවලි‍යට වමත් පිතිකරු ෆකාර් සමාන් එක් කිරීමට පාකිස්තාන ක්‍රිකට් ‍තේරීම් කමිටුව පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට වනිඳු හසරංග එක්කර සමබරතාවයක් ‍ගොඩනැඟීමට කටයුතු කොට ඇති අතර, ළහිරු උදාර, කමිල් මිෂාර, ප්‍රමෝද් මධුශාන් සහ එෂාන් මාලිංග පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතයට එක්ව සිටිති. පසුගිය කාලයේ එක්දින කණ්ඩායමට ඇතුළත්ව සිටි නුවනිඳු ප්‍රනාන්දු, නිශාන් මදුෂ්ක, මිලාන් රත්නායක සහ දුනිත් වෙල්ලාලගේ මෙවර සංචිතයට එක්කර නැත.

රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මේ දක්වා එක්දින තරග 27ක් පවත්වා ඇති අතර, එයින් පාකිස්තානය තරග 16ක් ජයගෙන ප්‍රතිවාදී කණාඩායම් තරග 10ක් ජයගෙන ඇත. ශ්‍රී ලංකා පිල රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්දින තරග 3කට සහභාගිවී තරග දෙකක් ජයගෙන ඇත. 1992 සිට මෙහි පවත්වා ඇති එක්දින තරගවලදී තරගයක් සම තත්ත්වයෙන් නිමාවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය එක්දින ජාත්‍යන්තර තරග 157කට ක්‍රීඩා කොට ඇති අතර, ඉන් තරග 93ක් පාකිස්තානය ජයගෙන, ශ්‍රී ලංකා පිල තරග 59ක ජය ලබා තිබේ. තරග 4ක් ප්‍රතිඵලයකින් තොරව අවසන් වී ඇති අතර, එක් තරගයක් සම තත්ත්වයෙන් අවසන් විය.

පාකිස්තාන‍යේදී ක්‍රිකට් තරග පැවැත්වෙද්දී ප්‍රභූ ආරක්ෂාවක් ලබාදීමට එරට ආරක්ෂක අංශ කටයුතු කිරීමට පෙළෙඹේ. මෙවර ද ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදී ඇති උසස් ආරක්ෂාව පිළිබඳ සතුටට පත්වන බව පිතිකරු කුසල් මෙන්ඩිස් ඊයේ මාධ්‍ය වෙත පැවැසීය.

“ මා පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට මෙයට මාස කිහිපයකට ‍පෙර පැමිණ ක්‍රීඩා කළා. මෙවර අපට ලබාදී ඇති ආරක්ෂාව ඉතාම උසස් එකක්. තරග පැවැත්වෙන අවස්ථා‍වේදී පමණක් නොවෙයි. පුහුණුවීම්වලදී පවා හොඳ ආරක්ෂාවක් දෙනවා. රාවල්පින්ඩි ක්‍රීඩාංගණය අවට වෙනස් කාලගුණික තත්ත්වයක් තියෙනවා. ශ්‍රී ලංකා පිල හොඳ සමබර කණ්ඩායමක්. සියලුම ක්‍රීඩකයින් හොඳ සූදානමක ඉන්නවා. පැතුම් පසුගිය කාලයේ දක්ෂතා අතරට පැමිණියා. අපේ ක්‍රීඩකයින් මේ තරගාවලියේදී උපරිම දස්කම් දක්වා හොඳ තරගාවලියක් පවත්වන බව විශ්වාසයි. පාකිස්තානයත් හොඳ කණ්ඩායමක්. දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන් ක්‍රීඩා කළ ආකාරය අප දුටුවා“ කුසල් මෙන්ඩිස් සදහන් කළේය.

ශ්‍රී ලංකා – පාකිස්තානය එක්දින තරගාවලිය අද ආරම්භවී මේ 13, සහ 15 යන දිනවලදී රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන අතර සිම්බාබ්වේ කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්කොන් විස්සයි20 තරගාවලියේ පළමු තරගය හැර අනෙක් තරග සියල්ලම ලාහෝර්හිදී පැවැත්වෙනු ඇත. එහි අවසන් මහ තරගය නොවැම්බර් මස 29 වැනිදා ලාහෝර් ගඩාපි ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

ශ්‍රී ලංකා එක්දින සංචිතය: චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, ළහිරු උදාර, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කමිදු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුෂාන්, ඩිල්ෂාන් මදුශංක.

පාකිස්තාන එක්දින සංචිතය: ෂහීන් ෂා අෆ්රිඩි (නායක), අබ්‍රාර් අහමඩ්, බබාර් අසාම්, හසීබුල්ලා ඛාන්, මොහොමඩ් රිස්වාන්, සායිම් අයුබ්, හසන් නවාස්, සලමන් අගා, ෆහීම් අෂ්රෆ්, හුසේන් තලාට්, මොහොමඩ් නවාස්, ෆයිසාල් අක්‍රම්, හරිස් රවුෆ්, මොහොමඩ් වසීම්, නසීම් ෂා

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee