slc
logo
Home   |    News
ජනවාරි 29, 2026
විස්සයි-20 ලෝක කුසලානට සූදානම් වන SSC ක්‍රීඩාංගණය ක්‍රීඩා ආලෝකමත් වෙයි

sinhala editor

අයි.සී.සී. පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වෙමින් පවතින කොළඹ එස්. එස්. සී. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අභිනව විදුලි ආලෝක  පද්ධතිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සහ සිංහල ක්‍රීඩා සමාජයේ (එස්.එස්.සී.) සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා විසින් අද (ජනවාරි 28 වැනිදා)  පස්වරුවේදී විවෘත කරන ලදී.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ අතර SSC ක්‍රීඩාංගණයද එක් වන අතර, සමාරම්භක තරගය වන පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර තරගය ඇතුළුව මෙහි තරග 5ක් පැවැත්වීමට නියමිතය.

ඊට අමතරව මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් මෙන්ම එස්. එස්. සී. ක්‍රීඩා සමාජයේ නිලධාරීහුද එක්ව සිටියහ. විදුලි ආලෝක පද්ධතිය විවෘත කිරීම පසු ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයක්ද පැවැත්වීම එම අවස්ථාව තවත් වර්ණවත් කරන්නක් බවට පත්විය.

ශ්‍රී ලංකාවේ ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ අතුරින් විදුලි ආලෝක පද්ධතියක් ස්ථාපනය කරන ලද පස්වැනි ක්‍රීඩාංගණය ලෙසින් එස්. එස්. සී. ක්‍රීඩාංගණය අද ඉතිහාසයට එක් විණ. කොළඹ ආර්. ප්‍රේමදාස, පල්ලෙකැලේ, සූරියවැව මහින්ද රාජපක්ෂ සහ රංගිරි දඹුල්ල යන ක්‍රීඩාංගණවල මීට පෙර දිවා/රාත්‍රී තරග පැවැත්වීම වෙනුවෙන් විදුලි ආලෝක පද්ධති ස්ථාපනය කර ඇති සෙසු ක්‍රීඩාංගණ වෙති.

LED තාක්ෂණය මත පදනම් වූ මෙම නව ආලෝක පද්ධතිය කුළුණු 6 කින් සමන්විත වන අතර, මුළු ක්‍රීඩාංගණය පුරා ඒකාකාර ආලෝකකරණයක් ලබාදීම සඳහා LED ‘ලුමිනියර්‘ 630 ක් (කුළුණු 3 කට 100 වන සේ සහ කුළුණු 3 කට 110 වන සේ) භාවිතා කර ඇත. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අවශ්‍යතාවට සරිලන ලෙස දීප්තිය සහිත මෙම පද්ධතිය ක්‍රීඩකයින්, නිලධාරීන් සහ නරඹන්නන් සඳහා උසස් දෘශ්‍ය පැහැදිළිතාවක් ලබා දෙනු ඇත.

ඊට අමතරව නරඹන්නන්ට වැඩි ආශ්වාදයක් ගෙන ඒමේ අරමුණින් දෘශ්‍යමය වශයෙන් වඩාත් ආකර්ෂණීය සිදුවීම් නිර්මාණය කිරීමට හැකි වර්ණ ආලෝකකරණ දර්ශන ඇතුළුව බහුවිධ මෙහෙයුම් ක්‍රම සක්‍රීය කළ හැකි වන පරිදි වූ නවීන ආලෝකකරණ පාලන පද්ධතියක්ද මෙහි ස්ථාපනය කර තිබීම විශේෂත්වයක් වේ.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee