විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘බී‘ කාණ්ඩයේ ශ්‍රී ලංකාව හා ඕමානය අතර තරගය හෙට (12) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරවරු 11ට ආරම්භ වේ. මෙය මෙවර ලෝක කුසලාන තරගාවලියේ 16 වැනි තරගය වේ.
ජාත්‍යන්තර තරග තුනකදී ඕමානය හා ශ්‍රී ලංකාව හමුවී ඇති අතර, ඒ අවස්ථා තුනේදීම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රහණය කර ඇති පසුබිමක් තුලදී හතරවැනි වතාවට මෙම හමුවීම සිඳුවේ. විස්සයි20 තරගවලදී දෙවරක් හා එක්දින තරගවලදී එක් වරක් හමුවී ඇති ඕමානය මෙවර හමුවන්නේ ශ්‍රී ලංකා පිලට සුපුරුදු තත්ත්වයන් මැද හෙයින් ඕමානයට එය අභියෝගාත්මක වේ.
එහෙත් ඕමානය විශාල දස්කම් දක්වමින් සියලු දෙනා පුදුමයට පත් කිරීමට ඉලක්ක කරනු ඇත. ශ්‍රී ලංකාවේ හිටපු දීප්තිමත් ක්‍රීඩකයෙකු මෙන්ම ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු වු දුලිප් මෙන්ඩිස් මහතා ඕමාන පිලේ පුහුණුකරු බැවින් මෙරට තණතිලි හා හැසිරීම් පිළිබඳ ඕමාන ක්‍රීඩකයින්ට හොඳ අවබෝධයක් ලබාදී ඇත.
පල්ලෙකැලේ තණතීරුව සාමාන්‍යයෙන් පිතිකරුවන්ට සහ පන්දු යවන්නන්ට සමබර සහයක් දක්වන නමුත් තරගය ඉදිරියට යන විට දඟ පන්දු යවන්නන්ට වැඩි සහයෝගයක් ලබාදී තිබේ. ගෘහස්ථ වාසිය සහ ශක්තිමත් දඟ පන්දු ප්‍රහාරයේ වාසිය කෙරෙහි ශ්‍රී ලංකා පිල විශ්වාසයෙන් සිටින බව පෙනේ.
ශ්‍රී ලංකාව පළමු තරගයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් එම ජවය මෙම තරගයේදී ඉදිරියට ගෙන යාමට සූදානම්ව සිටින අතර, ඕමානය තම පළමු තරගයේදී සිම්බාබ්වේ හමුවේ කඩුලු 8ක දරුණු පරාජයක් අත්විඳීමෙන් දින 2කට පසු පල්ලේකැලේ පිටියට පිවිසේ.
ආබාධයකට ලක් වූ වනිඳු හසරංග ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් අයිසීසී තාක්ෂණ කමිටුව දඟ පන්දු යවන දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා සංචිතයට එක්කර ගැනීමේ අවස්ථා ලබාදී ඇත. ප්‍රබල පා දඟ පන්දු යවන්‍නෙකු වූ වනිඳු පළමු තරගයේදී අයර්ලන්තයට එරෙහිව ලකුණු 25 කට කඩුලු 3 ක් ලබා මැද ඕවර් තුල පිතිකරුවන් පීඩනයට ලක්කළ අයෙකි.
කෙසේ වුවද ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ ඉදිරි පෙළ වර්ණවත් කරන පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් මෑත කාලීන සාර්ථකත්වයක් ලබා ඉදිරියට පැමිණ සිටීම කැපී පෙණේ. පැතුම් තරග 85 කදී ලකුණු 2461 ක් ලබා එහි සාමාන්‍යය 30.76 ක් ලෙස රඳවාගෙන සිටින අතර, කුසල් විස්සයි20 අර්ධ ශතක 18ක් සමඟ තරග 101කදී ලකුණු 2481ක් ලබා 26. 11ක සාමාන්‍යක් රඳවා ඇත.
අයර්ලන්තයට එරෙහිව කමිඳු මෙන්ඩිස් දැක්වූ දක්ෂතා සමඟ මැද පෙළ වෙනදාට වඩා ශක්තිමත් වූයේ නම් ශ්‍රී ලංකා පිල ගැටළු රාශියකින් මිදෙනු ඇත.
ශ්‍රී ලංකා පිලට මෙම තරගය ජය ගැනීම සුපිරි අට වටයට යන මාවත විවිර කර ගැනීමට හොඳම අවස්ථාවක් වන අතර, මහනුවර නරඹන්නන්ට, ජීවමාන තරගයක් දැක බලා ගැනීමට අවස්ථා සැලසීමක් ද වේ.
ඕමාන පිලේ නායක ජටින්දර් සිං මෑත කාලයේ කණ්ඩායමේ හොඳම පිතිකරුවා වී ඇත. ඔහු මේ දක්වා විස්සයි20 තරග 73 කදී ඔහු අර්ධ ශතක 9 ක් ඇතුළුව ලකුණු 1610 ක් ලබාගෙන ඇත. ඕමාන කණ්ඩායමට පළමු තරගයේදී එල්ල වූ දරුණු පරාජය ඔවුන්ගේ පිතිකරණ ගැඹුරේ දුර්වලතා හෙළි කළ අතර, ආරක්ෂාකාරී මුළු ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට ද අපොහොසත් විය. ඉතා හොඳ වේග පන්දු සංකලනයක් ඇති ශ්‍රී ලංකා පිලේ දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ හා ප්‍රමෝද් මධුෂාන් ඕමාන පිතිකරුවන් මෙල්ල කිරීමට සමත් වේ.
ඊයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවේදී දුෂ්මන්ත චමීර පැවැසූවේ ඕමාන කණ්ඩායම කිසිවිටෙකත් සුළුවෙන් තැකිය යුතු නොවන බවයි. “ ඕමාන කණ්ඩායම දක්ෂ කණ්ඩායමක් අපි සුළුවෙන් තකන්නේ නෑ. මේ තරගයේදී ලකුණු වේගය වැඩියෙන් තබාගෛන ජයග්‍රහණය කිරීම අපේ බලාපොරොත්තුවයි“ චමීර පැවැසීය.
“අපේ හොඳම දඟ පන්දු යවන්නා වන වනිඳු මෙවර ලෝක කුසලානෙන් ඉවතට ගියා. ඔහුගේ ඉඩුව සම්පූර්ණ කරන්න අපි හැම දෙනාම කැප වෙනවා. ඔහු වෙනුවට පැමිණි දුෂාන් හේමන්ත කලක් සිටම කණ්ඩායම සමඟ සිටි ක්‍රීඩකයෙක්. අපේ පන්දු යැවීමේ බළ ඇණීය ඉතාම ශක්තිමත්“ දුෂ්මන්ත චමීර පැවැසීය.
තරගයේ මුල් පැය කිහිපය තුළ පල්ලෙකැලේ කාලගුණය අර්ධ වශයෙන් වළාකුළු සහිත සහ තෙතමනය සහිත වීමට ඉඩ ඇති අතර, වර්ෂාව ඇතිවීමේ සම්භාවිතාව 10% ක් බවට කාලගුණ අනාවැකිය පුරෝකථනය කර තිබේ. කාලගුණය උණුසුම් වන අතර, උපරිම උෂ්ණත්වය 25-30 °C පමණ වනු ඇතැයි පැවැසේ.
ශ්‍රී ලංකා සංචිතය – දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, එෂාන් මාලිංග, මතීෂ පතිරණ.
ඕමාන සංචිතය – ජටින්දර් සිං (නායක), අසීස් ඔඩෙඩෙරා, කරන් සොනාවේල්, වසීම් අලි, ආමීර් කාලීම්, ජේ ඔඩෙඩ්රා, මොහොමඩ් නදීම්, ජිටෙන් රාමනන්ඩි, සෆීක් ජාන්, හමීඩ් මිර්සා, විනයක් ෂුක්ලා, නදීම් ඛාන්, ෂා ෆයිසාල්, ෂකීල් අහමඩ්, හමීඩ් මිර්සා





