slc
logo
Home   |    News
පෙබරවාරි 12, 2026
ශ්‍රී ලංකාවට ලකුණු 105 ක දැවැන්ත ජයක්

sinhala editor

පවන් රත්නායක, දසුන් ශානක සහ කුසල් මෙන්ඩිස් තිදෙනා එක්ව රැස් කරන ලද අර්ධ ශතක හේතුවෙන් අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති තරගයෙන් ඕමාන කණ්ඩායමට එරෙහිව ලකුණු 105 ක ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟ +3.125 ක ශුද්ධ ලකුණු වේගයක් ද සමගින් තමන් තරග වදිනු ලබන ‘බී‘ කාණ්ඩයේ පෙරමුණට පැමිණීමටද ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය.

ඕමාන පන්දු යවන්නන් හමුවේ නැවතත් සිය සුපුරුදු රිද්මයන්ට අවතීර්ණ වූ ශ්‍රී ලංකා  පිතිකරුවන් අතරින් නායක දසුන් ශානක සහ පවන් රත්නායකගේ අනුකම්පා විරහිත පිතිහරඹය හේතුවෙන් නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 5 ක් දැවී ලකුණු 225 ක් රැස් කර ගැනීමට අවස්ථාව උදාවිය.

ප්‍රභලයින් හමුවේ ලකුණු රැස් කිරීම ආරම්භ කළද ඕමාන් ඉනිමේ පළමු පන්දුවාර 6 ඇතුළත කඩුලු 3 ක් බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. කෙසේ වෙතත් මොහොමඩ් නයීම් නොදැවී ලකුණු 53 ක් සහ වසීම් අලී (27) ඕමාන් කණ්ඩායම ලකුණු 100 කට අඩුවෙන් දැවී යෑමේ අවදානමෙන් මුදවා ගත්හ. ශ්‍රී ලංකා පන්දු යවන්නන් ග්‍රහණය වැඩි කරමින් පන්දු යැවීම නිසා ඕමාන් ඉනිමේ කඩුලු 6 ක් ලකුණු 31 ක් ඇතුළත බිඳ වැටිණ. කෙසේ වෙතත් පන්දුවාර 20 අවසානයේදී ඔවුන්ට කඩුලු 9 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 120 ක් පමණි.

අද රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකා විස්සයි-20 තරග ඉතිහාසයේ ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සනිටුහන් විය. මෙවර ලෝක කුසලාන ක්‍රිිකට තරගාවලියේදී මෙතෙක් කණ්ඩායමක් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව බවටද පත්වූ මෙම ලකුණු 225 දෙවැනි වන්නේ 2007 වසරේදී කෙන්යානුවන්ට එරෙහිව ජොහැන්නස්බර්ග් අගනුවරදී කඩුලු 6 ක් දැවී රැස් කරන ලද ලකුණු 260 විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 තරගයකදී වේගවත්ම විස්සයි-20 අර්ධ ශතකය පන්දු 19 කදී සපුරා ගැනීමට දසුන් ශානක සමත් වුවත්, තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගන්නා ලද්දේ පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 60 ක් රැස් කරන ලද පවන් රත්නායකය.

දැවැන්ත හයේ පහර 5 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත වුණු දසුන්ගේ ලකුණු 50 ක ඉනිම ශ්‍රී ලංකා ලකුණු පුවරුව වේගවත් කිරීමට සෘජුවම දායක විය.

මුහුණ දුන් පළමු පන්දු දෙකම හතරේ සීමාවට යවමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළ කුසල් මෙන්ඩිස්, සාර්ථක ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට මූලික අඩිතාලම එක්කරන ලද පළමු පිතිකරුවා බවට පත්විය. කමිල් මිශාරගේ ලකුණු 08 ක් ලබා සිටියදී දැවී ගිය අතර පැතුම් නිස්සංක ද (13) මුලු ලකුණු සංඛ්‍යාව 42 ක්ව තිබියදී පිටියෙන් ඉවත්විය. අනතුරුව පිටියට  පිවිසි දකුණත් කෝඩුකාර පිතිකරුවා මුහුණ දුන් පළමු පන්දු 3 ම හතරේ පහර බවට පරිවර්තනය කර ගත්තේ මානසික වශයෙන් ස්ථාවරත්වයක් ලබා ගනිමිනි.

මොවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු ලකුණු 94 ක ලකුණු සම්බන්ධතාව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ගොඩනැංවුණු හොඳම කඩුල්ලේ සම්බන්ධතාව බවට පත්විය. මේ සඳහා මොවුන් දෙදෙනා වැය කර තිබුණේ පන්දු 50 ක් පමණක් වූ අතර ඒ අතරතුර 15 වතාවක් පන්දුව හතරේ සහ හයේ සීමාව වෙත යැවීමට සමත්ව සිටියහ.

එම සම්බන්ධතාවට අමතරව කුසල් සහ දසුන් අතර සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 28 කදී ලකුණු 63 ක් ලෙස සටහන් විය. දසුන්ට පහර එල්ල කිරීමට ඉඩ සැලැස්වූ කුසල් අනවශ්‍ය වේගයක් හෝ පීඩනයක් නොගෙන පන්දුවට පහර දුන්නේ තම ඉනිම හතරේ පහර 7 කින් සරසා ගනිමිනි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මීළඟට තරග වදිනු ලබන ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය ලබන 16 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 225 යි – (පවන් රත්නායක 60, දසුන් ශානක 50, කුසල් මෙන්ඩිස් 61, පැතුම් නිස්සංක 13, කමිල් මිශාර 08, කමිදු මෙන්ඩිස් 19*, දුනිත් වෙල්ලාලගේ 06, ජිටෙන් රාමනාදි 41/2, සුෆයන් මෙහමූද් 60/1, ජේ ඔඩෙද්‍රා 14/1)

ඕමානය  පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 120 යි – (මොහොමඩ් නදීම් 53*, වසීම් අලී 27, ආමිර් කලීම් 06, ජිතේන්දර් සිං 01, හමාද් මිරාස් 09, විනයක් ශුක්ලා 01, ජිටෙන් රාමනාදී 00, නදීම් ඛාන් 02, සුෆායන් මෙහමුදී 01, ෂා ෆයිසාල් 01, ජේ ඔඩෙද්‍රා 04*, දුෂ්මන්ත චමීර 19/2, මහීෂ් තීක්ෂණ 11/2, දුනිත් වෙල්ලාලගේ 17/1, දුශාන් හේමන්ත 45/1, කමිදු මෙන්ඩිස් 10/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee