ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය වෙනුවෙන් අලුතින් පත් වූ පරිවර්තන කමිටු සභාපති එරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දෙන්නේ, තමන් ඇතුළත් “පරිවර්තන කමිටුව” යනු හුදෙක්ම ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්ෂේත්‍රයේ ගැඹුරු වෙනසක් ඇති කිරීම වෙනුවෙන් පත් වූ කමිටුවක් බවයි. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම් කරන ලද මෙම කමිටුවට “පරිවර්තන කමිටුව” යනුවෙන් නම් කිරීමට හේතු ලෙසින් තමන් විශ්වාස කර සිටින්නේ පරිපාලන කටයුතු එක් අංශයකට පමණක් සීමා නොවී, ව්‍යවස්ථාවේ සිට බිම් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව දක්වා වූ සියලු අංශ ආවරණය කරමින් සිදු විය යුතු පුළුල් ක්‍රියාවලියක් ඇතුළත්වීම හේතුවෙන් වන බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වීමත් සමඟ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා එරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු පරිවර්තන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඊයේ (29 දා) කටයුතු කරන ලදී. සාමාජිකයින් 9 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුවේ සභාපතිවරයා ඇතුළු කමිටු සාමාජිකයින් කිහිප දෙනෙකු අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ සිය රාජකාරි කටයුතු ආරම්භ කළ අතර, එහි අවසානයේදී මාධ්‍ය හමුවේ වික්‍රමරත්න මහතා ඉහත අදහස් පළ කර සිටියේය.
එරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතුව නම් කරන ලද මෙම කමිටුවට හිටපු ක්‍රීඩකයින් තිදෙනෙකු වන කුමාර් සංගක්කාර, සිදත් වෙත්තමුණි සහ රොෂාන් මහානාම යන මහත්වරුන් පත්ව සිටින අතර, ප්‍රකාශ් ශාෆ්ටර්, ඩිනාල් පිලිප්ස්, උපුල් කුමාරප්පෙරුම, තුෂිර රදැල්ල යන මහත්වරුන් සහ අවන්ති කොළඹගේ මෙනවිය එම කමිටුවේ සෙසු සාමාජික සාමාජිකාවෝ වෙති. ඔවුන් අතරින් රොෂාන් මහානාම සහ කුමාර් සංගක්කාර යන මහත්වරුන් දෙදෙනාම විදේශගතව සිටීම නිසා මෙම අවස්ථාවට සහභාගි නොවූහ.
“මේක ‘පරිවර්තන කමිටුවක්’ කියන්නේ, මෙහි යම්කිසි වෙනසක් කරන්න අවශ්‍ය නිසා. ඒකයි ‘පරිවර්තනය’ කියලා කියන්නේ. එතකොට ඒ වෙනස කරන්න හුඟාක් මට්ටම් තියෙනවා. ඒ හැම මට්ටමකම ඒ වෙනස සිදුවිය යුතුයි. ව්‍යවස්ථාවේ සිට බිම් මට්ටම දක්වා බොහෝ දේවල් වෙනස් කරන්න සිදුවෙනවා. ඒකයි මං හිතන්නේ ‘පරිවර්තනය’ කියන වචනය මෙතැනදී භාවිතා කරලා තියෙන්නේ,“ යනුවෙන් ඒ මහතා අදහස් දක්වා සිටියේය.
“මම හිටපු මන්ත්‍රී කෙනෙක්. ‘හිටපු’ කියන එක කියන්නම ඕන. අපි මෙතැනට ආවේ දේශපාලනයක් කරන්න නොවෙයි. ක්‍රිකට් ක්‍රීඩාව ඇවිල්ලා රටම එකතු කරන්න පුළුවන් ක්‍රීඩාවක්. පත් වෙලා ඉන්න අයට එක එක අංශ පිළිබඳව දැනුමක් තියෙනවා. සමහර අයට ක්‍රිකට් ගැන හොඳ දැනුමක් තියෙනවා. අනිත් අයට පරිපාලනය ගැන, කළමනාකරණය ගැන, මුදල් ගැන සහ නීතිය ගැන දැනුමක් තියෙනවා. මේ සියල්ලක්ම අවශ්‍යයි. ඒ වගේම මේ කටයුතු සාර්ථක කරගන්න සැම දෙනාගේම සහයෝගය අපට අවශ්‍යයි,“ යැයිද වික්‍රමරත්න මහතා සඳහන් කර සිටියි.
මෙහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ, ක්‍රිකට් ක්ෂේත්‍රයේ පවතින ගැටලු හඳුනාගෙන ඒවාට තිරසාර විසඳුම් සොයා ගැනීමට නම්, සමස්ත ක්‍රියාවලිය පිළිබඳවම පුළුල් අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වන බවයි. එමඟින් පරිපාලන ව්‍යුහය, ක්‍රීඩක සංවර්ධනය සහ බිම් මට්ටමේ ක්‍රියාකාරකම් යන සියලු අංශයන්හි සංශෝධන සිදු කිරීමට හැකි වනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.
තවද, කෙටි කාලීන විසඳුම් ලබා ගැනීමට ඉක්මන් වීම එතරම් හොඳ කටයුත්තක් නොවන බව තම විශ්වාසය බවද වික්‍රමරත්න මහතා පෙන්වා දෙයි. මෙහිදී ප්‍රථමයෙන්ම කළ යුත්තේ ඇහුම්කම් දීම බව පෙන්වා දෙන ඒ මහතා, එය තම කමිටුවේ ප්‍රධාන ප්‍රවේශය බවද සඳහන් කර සිටියේය. දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ක්‍රියාත්මක වැඩපිළිවෙළ, පවතින තත්ත්වය සහ පද්ධතිය තුළ ඇති අභියෝග විමසා බැලීමෙන් පසුව, කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා කොට ඉදිරි පියවරවලට යන බවද සඳහන් කර සිටියේය.
“කෙටි කාලීන හෝ දිගු කාලීනව කරන්න යන දේවල් ගැන මම දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මුලින්ම අපිට තියෙන්නේ ඇහුම්කම් දීම. අපි හරියටම සැලැස්මක් අරගෙන ඇවිල්ලා ඒක ක්‍රියාත්මක කරන්න යනවා වගේ එකක් නෑ.
ඉස්සෙලාම අපි ඇහුම්කම් දෙන්න ඕන. දැනට කරලා තියෙන දේවල් බලන්න ඕන. ඊට පස්සේ කළමනාකාරිත්වයත් එක්ක කතා කරන්න ඕන. ඊට පස්සේ පිටතින් එන අදහස් සලකා බලන්න ඕන.”
ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව යනු ජාත්‍යන්තර ක්‍රීඩා පද්ධතියක් තුළ ක්‍රියාත්මක වන, විශාල වගකීමක් දරන ක්ෂේත්‍රයක් බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිවර්තන කමිටු සභාපතිවරයා, එහි කටයුතු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මාර්ගෝපදේශ හා ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියා කළ යුතු බවත්, තම පාලන ක්‍රියාවලියද ඒ මට්ටමට ගැළපෙන ලෙස වඩාත් වගකීම් සහගතව ගොඩනැගිය යුතු බවත් සඳහන් කර සිටියි.
ඔහුගේ අදහස අනුව, මෙම පරිවර්තන ක්‍රියාවලියේ ප්‍රධාන අවධානය යොමු විය යුතු කරුණු දෙකක් ඇති බවත්, ඉන් පළමු වැන්න ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලන ක්‍රමය දියුණු කිරීමත්, දෙවැන්න බිම් මට්ටමේ ක්‍රිකට් සංවර්ධනය කිරීමත් හඳුන්වයි.
එහි පළමුවැනි කරුණ වන ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලන ක්‍රමය දියුණු කිරීම සඳහා තම කමිටුව සතුව අදහස් තිබෙන බවත්, ඒ හරහා වඩාත් කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුතු ලෙස වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කරයි.
බිම් මට්ටමේ ක්‍රිකට් සංවර්ධනය ලෙසින් පාසල් මට්ටමේ සිට ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් කිරීම, කාන්තා ක්‍රිකට් කණ්ඩායම් වර්ධනය කිරීම, දිස්ත්‍රික් මට්ටමේ සහ ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රීඩාව සංවර්ධනය කිරීම දෙවැනි කරුණ යටතේ අවධානය කර ඇති කරුණු බවට පත්ව තිබේ. ඒ අතර ක්‍රීඩකයින්ට අවශ්‍ය පහසුකම් සහ සහයෝගය ලබාදීමද අත්‍යවශ්‍ය කරුණක් බවද ඔහු පෙන්වා දෙයි.





