slc
logo
Home   |    News
අප්‍රේල් 29, 2026
තරුෂ රණසිංහගේ තුන් ඉරියව් දක්ෂතා කලුතරට ජය ගෙනෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවනර්ස් කප් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවැති කළුතර නගර සමාජය සහ අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජය අතර තරගයේදී කළුතර නගර කණ්ඩායම ලකුණු 110කින් විශිෂ්ට ජයක් අත්කරගත්තේය.

මෙම ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය වූයේ අංක අට පිතිකරු තරුෂ රණසිංහයි. ඔහු පන්දු 50කදී හතරේ පහර 5ක් සමඟ ලකුණු 60ක් රැස් කරමින් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා විය. තවද පන්දු යැවීමේදී පන්දුවාර 10ක් යවා ඉන් නිලකුණු පන්දුවාර 3 ක්ද යවමින් ලකුණු 17කට කඩුලු 3ක් දවා ගනිමින් තුන් ඉරියව් දක්ෂතාවක් ප්‍රදර්ශනය කළේය. මෙම දක්ෂතා මත තරුෂ රණසිංහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කෙරිණි.

කණ්ඩායමේ සදිල් ඩයස් ද පන්දු යැවීමේදී විශේෂ දක්ෂතාවක් පෙන්වමින් ලකුණු 21කට කඩුලු 5ක් දවා ගත්තේය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කළුතර නගර කණ්ඩායම පන්දුවාර 48කදී සියල්ල දැවී ලකුණු 247ක් රැස් කළේය. එහිදී ආරම්භක පිතිකරුවන් වන සුමුදු සමීර (57) සහ දහම් විමුක්ති (21) පළමු කඩුල්ලට ලකුණු 61ක සබඳතාවක් ගොඩනගා ගත්හ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජය, සදිල් ඩයස් (5/21) සහ තරුෂ රණසිංහ (3/17)ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පන්දුවාර 47.5ක් තුළ ලකුණු 137කට සීමා විය.

අඹේපුස්ස කණ්ඩායම වෙනුවෙන් තරිඳු රුක්ෂාන් ලකුණු 44කට කඩුලු 4ක් දවා විශේෂ දක්ෂතාවක් දැක්වීය.

කළුතර නගර සමාජය පන්දුවාර 48ක දී සියල්ල දැවී ලකුණු 247 – තරුෂ රණසිංහ 60, සුමුදු සමීර 57, නෙත්මල් ද සොයිසා 36, දහම් විමුක්ති 21, නිකලෝ ෂෙරන් 20, තරිඳු රුක්ෂාන් 44/4, චරිත් සුධාරක 40/2

අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජය පන්දුවාර 47.5ක දී සියල්ල දැවී ලකුණු 137 – කසුන් සේනාධීර 30, ඔමේග කරුණාරත්න 24, ඉඳුනිල් සංජීව 20, අමිල පෙරේරා 16, සදිල් ඩයස් 21/5, තරුෂ රණසිංහ 17/3

 (තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – තරුෂ රණසිංහ – කළුතර නගර සමාජය)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar