ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවස පුරාම දැඩි පීඩනයකට ලක් කළ අමීර් ජැන්ගූ සහ රොස්ටන් චේස්, හයවැනි කඩුල්ල සඳහා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සබඳතාව වන ලකුණු 401ක් ගොඩනඟමින් ඇන්ටිගුවාහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ දිනය බවට පත් කළහ. එම සබඳතාවේ පිටුබලයෙන් කොදෙව්වෝ ලකුණු 318ක පළමු ඉනිමේ වාසියක්ද හිමිකර ගත්හ.
දෙවැනි දිනය නිමා වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ජැන්ගූ සහ චේස් තෙවැනි දිනයේදීද සිය ආධිපත්‍යය නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන්හ. දෙදෙනා එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 401ක සබඳතාව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එම කඩුල්ල සඳහා වූ ඉහළම සබඳතාව ලෙස වාර්තා අතරට එක්වූ අතර බටහිර ඉන්දීය ටෙස්ට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා වූ දෙවැනි ඉහළම සබඳතාව බවටද පත්විය. මීට ඉහළින් තවමත් පවතින්නේ ගාෆීල්ඩ් සෝබර්ස් සහ කොන්ඩ්‍රට් හන්ට් ගොඩනැගූ සබඳතාව පමණි.
ආබාධයකට ලක්වූ ෂායි හෝප් වෙනුවට කණ්ඩායමට කැඳවූ ජැන්ගූ, තෙවැනි ටෙස්ට් ඉනිමේදීම සිය මංගල ටෙස්ට් ශතකය ද්විත්ව ශතකයක් බවට පත් කළේ පන්දු 373කට මුහුණ දෙමින් ලකුණු 233ක් රැස් කරමිනි. හතරේ පහර 19ක් සහ හයේ පහර 3ක් එල්ල කළ ඔහුගේ ඉනිම මුළුල්ලේම පාහේ කිසිදු අවදානමකට ලක් නොවීය. අනෙක් අන්තයේ සිටි නායක චේස්ද පන්දු 299කින් හතරේ පහර 18ක් සමඟ ලකුණු 194ක් රැස් කළ අතර, සිය පළමු ටෙස්ට් ද්විත්ව ශතකයට ලකුණු හයක් මෙපිටින් දැවී ගියේය.
දිනයේ මුල් පැයේදී දෙදෙනාම ඉවසීමෙන් පිතිහරඹයේ නිරත වූහ. ජැන්ගූ මුල් පන්දු 15 තුළ එකදු ලකුණක්වත් රැස් නොකළ අතර, චේස්ද ආරක්ෂාකාරී ප්‍රවේශයක් අනුගමනය කළේය. එහෙත් නව පන්දුවේ ඔපය පහව යෑමත් සමඟ ඔවුන්ගේ ලකුණු රැස් කිරීමේ වේගය ක්‍රමයෙන් ඉහළ ගියේය. විශේෂයෙන් දහවල් සැසියේදී පන්දුවාරයකට ලකුණු පහකට වැඩි වේගයකින් ලකුණු 136ක් රැස් කළ මෙම යුගලය තරගය සම්පූර්ණයෙන්ම කොදෙව්වන්ගේ පාලනයට ගෙන ගියේය.
තෙවැනි දිනයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තණතීරුවෙන් කිසිදු සහායක් නොලැබුණු අතර, දෙවැනි දිනයේ කලවයේ ආබාධයකට ලක්වූ ලහිරු කුමාරගේ අහිමිවීමද ශ්‍රී ලංකා පන්දු යැවීමට දැඩි බලපෑමක් ඇති කළේය. මුල් පැයේදී වේග පන්දු යවන්නන් යම් පීඩනයක් එල්ල කළද එය දිගු වේලාවක් පවත්වාගෙන යාමට නොහැකි වූයෙන් නායක ධනංජය ද සිල්වාට සොනල් දිනූෂ ඇතුළු දඟ පන්දු යවන්නන් මත වැඩි වශයෙන් යොදාගැනීමට සිදුවිය
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනයේ කැපී පෙනුණු පන්දු යවන්නා වූයේ මිලාන් රත්නායකය. දිනය පුරාම දැඩි උත්සාහයකින් පන්දු යැවූ ඔහු ලකුණු 124කට කඩුලු 5ක් දවා ගනිමින් සිය පළමු ටෙස්ට් කඩුලු පහ සටහන් කරගත්තේය. චේස් ලකුණු 108ක් ලබා සිටියදී ලබාදුන් උඩපන්දුවක් ස්ලිප් ස්ථානයේ පන්දු රැකි කමිඳු මෙන්ඩිස් අතින් ගිලිහී යෑම මෙම කඩුල්ලේ සම්බන්ධතාව මෙතරම් ඉදිරියට දිගුවීමට හේතුවිය. පසුව ජැන්ගූ-චේස්ගේ දැවැන්ත සබඳතාව බිඳ දැමීමටද සමත් වූයේ රත්නායකය. වමතින් දඟ පන්දු යවන සොනල් දිනූෂ ලකුණු 234ක් ලබා දුන්නද කඩුලු දෙකක් දවා ගත්තේය.
තේ පානයෙන් අනතුරුව ජැන්ගූ ස්වීප් පහරකින් එක් ලකුණක් ලබා ගනිමින් සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කළ අතර එම අවස්ථාවේ ක්‍රීඩාංගණයේ සිටි ප්‍රේක්ෂකයෝ මෙන්ම පුහුණුකරු ඩැරන් සැමී සහ කොදෙව් ක්‍රීඩකයෝද නැගී සිට ඔහුට උණුසුම් අත්පොළසන්වලින් ගෞරව දැක්වූහ. අවසන් සැසියේදී තවත් වේගයෙන් ලකුණු රැස් කිරීමට උත්සාහ කළ ජැන්ගූ හයේ පහරක් එල්ල කිරීමට යාමේදී කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබාදී දැවී ගිය අතර, චේස්ද ස්වීප් පහරක් වැරදීමෙන් පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ සිය මංගල ද්විත්ව ශතකය අහිමි කරගනිමිනි.
කොදෙව්වෝ කඩුලු 9කට ලකුණු 691දී සිය ඉනිම අත්හිටුවන ලද අතර අනතුරුව දිනයේ ඉතිරි වූ පන්දුවාර හතර තුලදී ශ්‍රී ලංකා පිලේ වටිනාම කඩුල්ලක් වන පැතුම් නිස්සංකගේ කඩුල්ල දවා ගනිමින් තරගයේ වැඩි වාසි තමන් වෙත හරවා ගැනීමට කොදෙව් පන්දු යවන්නෝ සමත්වූහ. ජේඩන් සීල්ස්ගේ පිටතට ඇදී ගිය පන්දුවකට කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබා දෙමින් පැතුම් නිශ්ශංක ලකුණු 03කට දැවී ගිය අතර සැඳෑ පිතිකරු ලෙසින් පැමිණි කසුන් රාජිතව දවා ගැනීම සඳහා ප්‍රතිවාදීන්ට අවස්ථාවක් නිර්මාණය වුවද ඉන් නිසි ප්‍රයෝජන ගැනීමට ජැංගූ අසමත්විය.
තරගය නිමාවීමට තවත් සම්පූර්ණ දින දෙකක් ඉතිරිව තිබුණද ශ්‍රී ලංකාව මේ වන විට දැඩි පීඩනයකට පත්ව සිටී. ඉනිමක පරාජය වළක්වා ගැනීම සඳහා තවත් ලකුණු 303ක් රැස් කිරීම ශ්‍රී ලංකාවේ පළමු ඉලක්කය වනු ඇත. ඉන් අනතුරුව පමණක් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමේ අපේක්ෂාවෙන් සිව්වැනි සහ පස්වැනි දිනයන්හිදී දීර්ඝ පිතිහරඹයක නිරත වීමේ අභියෝගයට ශ්‍රී ලංකා පිතිකරුවන්ට මුහුණ දීමට සිදුවනු ඇත.
ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 71.5 කදී සියලු දෙනා දැවී ලකුණු 308 යි – (ධනංජය ද සිල්වා 120, දිනේෂ් චන්දිමාල් 54, නිශාන් මදුෂ්ක 23, පැතුම් නිස්සංක 02, කමිදු මෙන්ඩිස් 00, කුසල් මෙන්ඩිස් 00, සොනාල් දිනූෂ 43, මිලාන් රත්නායක 27, කසුන් රජිත 08, ළහිරු කුමාර 12, අසිත ප්‍රනාන්දු 00, ජස්ටින් ග්‍රීව්ස් 39/3, ශමාර් ජෝසප් 79/2, අල්සාරි ජෝසප් 60/2, කෙමාර් රෝච් 32/2)
බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම පන්දුවාර 160.5 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 626 යි – (ජෝන් කැම්බෙල් 39, බ්‍රෙන්ඩන් කිං 31, කවෙම් හොජ් 16, අමීර් ජැංගූ 233, ජෝෂුවා දා සිල්වා 20, ජස්ටින් ග්‍රීව්ස් 03, රොස්ටන් චේස් 194, අල්සාරි ජෝශප් 21, ශමාර් ජෝෂප් 17, කෙමාර් රෝච් 00, මිලාන් රත්නායක 124/5, අසිත ප්‍රනාන්දු 56/2, සොනාල් දිනූෂ 234/1)



