slc
logo
Home   |    News
ජූනි 27, 2026
අතිරේක ලකුණු වැස්සේ අවාසියත් ශ්‍රී ලංකාවටම

sinhala editor

ටෙස්ට් ක්‍රිකට් පිටියේ අතිරේක ලකුණු යනු තරගයක දිශාව වෙනස් කළ හැකි නිහඬ ආයුධයකි. ඇන්ටිගුවාහි පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බයිස්, පා ලකුණු, වයිඩ් සහ නිපන්දු ලෙස අතිරේක ලකුණු 42ක් පිරිනැමූ අතර, එය දෙවැනි දිනය නිමාවන විට කොදෙව්වන් රැස් කළ ලකුණු 271න් සියයට 15.49ක ප්‍රතිශතයකට සමාන විය. කඩුලු රකින්නා අතින් ගිලිහුණු බයිස් ලකුණු 24ක් ද එම සංඛ්‍යාවට ඇතුළත් වූ අතර නොමිලේ ලැබුණු මෙම ලකුණු කොදෙව් ඉනිම ශක්තිමත් කරමින් තරගයේ වාසිය යළි සත්කාරකයන් වෙත හරවා ගැනීමට සැලකිය යුතු උත්තේජනයක් විය.

ආබාධයකට ලක් වූ ෂායි හෝප් වෙනුවට අවසන් මොහොතේ කණ්ඩායමට කැඳවනු ලැබූ අමීර් ජැංගූගේ නොදැවී ලකුණු 78ක ඉවසිලිවන්ත ඉනිමත් නායක රොස්ටන් චේස් සමඟ හයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ නොබිඳුණු ලකුණු 103ක සබඳතාවත් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දෙවැනි දිනය නිමාවන විට කඩුලු 5ක් දැවී ලකුණු 271ක් රැස් කරමින් ශ්‍රී ලංකාවේ පළමු ඉනිමේ ලකුණු 308ට වඩා ලකුණු 37ක් පමණක් පසුපසින් රැඳී සිටියේය.

ලකුණු 97කට කඩුලු 2 ක් බිඳ වැටියදී පිටියට පිවිසි ජැංගු පන්දු 174ක් පුරා දැඩි ඉවසීමෙන් පිතිහරඹයක නිරත වෙමින් සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළේය. තම දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින වමත් පිතිකරුවාගේ පන්දුවට පහර දීමේදී වඩාත් කැපී පෙනුණේ අවදානම් රහිත, දිගු ඉනිමක් ගොඩනැගීමේ හැකියාවයි.

අනෙක් අන්තයේ නායක රොස්ටන් චේස්ද කණ්ඩායමට අවශ්‍යම මොහොතේ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළේය. අවසන් වතාවට ක්‍රීඩා කරන ලද ටෙස්ට් ඉනිම් 15කදී ලකුණු 15.50ක සාමාන්‍යයක් පමණක් රඳවාගෙන සිටි චේස් මෙවර පන්දු 105කින් නොදැවී ලකුණු 42ක් රැස් කළේ,  තේ පානයෙන් පසු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු කඩුල්ලක් ලබා නොදීමට වගබලා ගනිමිනි.

උදෑසන සැසියේදී කොදෙව් ආරම්භක පිතිකරුවන් වූ ජෝන් කැම්බල් සහ බ්‍රැන්ඩන් කිං පළමු කඩුල්ලට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. දෙදෙනා එක්ව ලකුණු 59ක සබඳතාවක් ගොඩනඟමින් දිවා ආහාරය වන විට කණ්ඩායම කඩුල්ලක් පමණක් දැවී ලකුණු 89ක් දක්වා රැගෙන ගියහ. කැම්බල් ලකුණු 39ක් සහ කිං ලකුණු 31ක් රැස් කළහ.

ශ්‍රී ලංකාවට තරගයේ මුල්ම පසුබෑම එල්ල වූයේ වේගපන්දු යවන ලහිරු කුමාරගේ ආබාධයත් සමඟය. කලවයේ ආබාධයක් හේතුවෙන් ඔහු පළමු පන්දුවාරයෙන් පසුව පිටියෙන් ඉවත් වූ අතර ඉන් අනතුරුව ඔහු ක්‍රීඩා පිටියට පැමිණීමෙන් වැළකී සිටියේය. එම අහිමිවීම ශ්‍රී ලංකා පන්දු යැවීමේ ප්‍රහාරයට දරුණු බලපෑමක් ඇති කළේය.

කෙසේ වෙතත් දිවා ආහාරයෙන් පසුව තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට හැරිණි. වමත් දඟපන්දු යවන සොනාල් දිනූෂගේ පන්දුවක් ඉහළින් එල්ල කිරීමට උත්සාහ කළ ජෝන් කැම්බල් ලකුණු 39කට දැවී ගිය අතර මිලාන් රත්නායකගේ එල්ලියකින් යුතු පන්දු යැවීම හමුවේ කාවේම් හොජ් ලකුණු 16කට තම කඩුල්ල අහිමි කර ගත්තේය.

ලකුණු 102කට කඩුලු 3ක් බිඳ වැටුණු අවස්ථාවේ ජෝෂුවා ද සිල්වා සහ අමීර් ජැංගූ ඉනිම යළි ගොඩනැඟීමට උත්සාහ කළ අතර සිව්වැනි කඩුල්ලට ලකුණු 52ක සබඳතාවක් ගොඩනැගූහ. එහෙත් අසිත ප්‍රනාන්දුගේ පිටතට ඇදී ගිය පන්දුවකට කවරයට උඩපන්දුවක් ලබා දෙමින් ද සිල්වා ලකුණු 20කට දැවී ගියේය.

ඉන් අනතුරුව පිටියට පිවිසි ජස්ටින් ග්‍රීව්ස්ටද වැඩි වේලාවක් රැඳී සිටීමට නොහැකි විය. අසිතගේ තවත් විශිෂ්ට පන්දුවක් හමුවේ පිත්තේ දාරයේ වැදුණු පන්දුව ළමුමු ස්ලිප් ක්‍රීඩකයාගේ කලාපය වෙත ඇදී යද්දී එය තනි අතින් විශිෂ්ට ලෙස රැකගත් කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාවට පස්වැනි කඩුල්ල හිමිකර දුන්නේය.

කඩුලු 5ක් ලකුණු 168කට බිඳ වැටුණු අවස්ථාවේ එක්වූ ජැංගූ සහ චේස් පන්දු 203ක් පුරා නොබිඳී රැඳෙමින් ලකුණු 103ක වටිනා සබඳතාවක් ගොඩනැඟූහ. ඔවුන්ගේ ඉවසීම හමුවේ දිනයේ අවසන් සැසියේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තවත් කඩුල්ලක් දවා ගැනීමට නොහැකි විය.

කොදෙව් පිතිකරුවන්ගේ ඉවසිලිවන්ත පිතිහරඹයට අමතරව ශ්‍රී ලංකාව සිය අතින්ම ප්‍රතිවාදීන්ට අතිරේක ලකුණු පිරිනැමීමද කැපී පෙනුණි. දෙවැනි දිනයේදී පමණක් අතිරේක ලකුණු 42ක් ලබාදුන් අතර, එය කොදෙව්වන් රැස් කරන ලද මුළු ලකුණු සංඛ්‍යාවෙන් සියයට 15.49 ක සැලකිය යුතු කොටසකි. කඩුලු රකින්නාගෙන් ගිලිහුණු බයිස් ලකුණු 24ක්, පා ලකුණු 12ක්, වයිඩ් පන්දු 4ක් සහ නිපන්දු 2ක් එම සංඛ්‍යාවට ඇතුළත් විය. ටෙස්ට් ක්‍රිකට් වැනි දීර්ඝ ආකෘතියක මෙවැනි අතිරේක ලකුණු සංඛ්‍යාවක් පිරිනැමීම ශ්‍රී ලංකාවට සැලකිය යුතු අවාසියක් බවට පත්විය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 71.5 කදී සියලු දෙනා දැවී ලකුණු 308 යි – (ධනංජය ද සිල්වා 120, දිනේෂ් චන්දිමාල් 54, නිශාන් මදුෂ්ක 23, පැතුම් නිස්සංක 02, කමිදු මෙන්ඩිස් 00, කුසල් මෙන්ඩිස් 00, සොනාල් දිනූෂ 43, මිලාන් රත්නායක 27, කසුන් රජිත 08, ළහිරු කුමාර 12, අසිත ප්‍රනාන්දු 00, ජස්ටින් ග්‍රීව්ස් 39/3, ශමාර් ජෝසප් 79/2, අල්සාරි ජෝසප් 60/2, කෙමාර් රෝච් 32/2)

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම පන්දුවාර 84 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 271 යි – (ජෝන් කැම්බෙල් 39, බ්‍රෙන්ඩන් කිං 31, කවෙම් හොජ් 16, අමීර් ජැංගූ 78*, ජෝෂුවා දා සිල්වා 20, ජස්ටින් ග්‍රීව්ස් 03, රොස්ටන් චේස් 42*, අසිත ප්‍රනාන්දු 25/2, මිලාන් රත්නායක 45/2, සොනාල් දිනූෂ 68/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee