slc
logo
Home   |    News
ජූනි 11, 2026
කලකට පසු කෘෘස්පුල්ලේට අවස්ථාව

sinhala editor

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගය අද (11) ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් මෙම තරගය හෙට (12) පෙ.ව. 6.00ට ආරම්භ වීමට නියමිතය.

එක්දින තරගාවලියේ පළමු තරගය පමණක් සාර්ථකව පැවැත්වුණු අතර අනෙකුත් තරග දෙකම වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අත්හැර දැමීමට සිදුවිය. එම නිසා විස්සයි-20 තරගාවලියේ ආරම්භයත් වර්ෂාවෙන් බලපෑමට ලක්වීමේ අවදානමක් පවතින අතර, ජැමෙයිකාවේ කාලගුණ අනාවැකි අනුව තරගය ආරම්භ වීමට පෙර ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.

මෙවර ශ්‍රී ලංකා පිලේ විශේෂ අවධානය දිනාගෙන ඇත්තේ 27 හැවිරිදි ලසිත් කෲස්පුල්ලේගේ නැවත පැමිණීමයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු ක්‍රීඩා කළ එකම ජාත්‍යන්තර තරගය වූයේ 2023 ඔක්තෝබර් 4 වැනිදා චීනයේ හැංග්ෂු නුවරදී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී ඇෆ්ඝනිස්ථානයට එරෙහි තරගයයි. එතැන් සිට ජාතික කණ්ඩායමේ අවස්ථාවක් නොලැබූ කෲස්පුල්ලේට වසර දෙකකට ආසන්න කාලයකට පසු නැවතත් ශ්‍රී ලංකා ජර්සිය ඇඳීමට අවස්ථාව හිමිව තිබේ.

නායක කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් සහ කමිඳු මෙන්ඩිස්ගේ උප නායකත්වයෙන් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා පිල මෙම තරගය සඳහා ප්‍රධාන පිතිකරුවන් පස්දෙනෙකු, තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ විශේෂඥ පන්දු යවන්නන් සිව්දෙනෙකු සමඟින් සමබර සංයුතියක් තෝරාගෙන ඇත.

ඒ අනුව හිටපු සුදු පන්දු නායක චරිත් අසලංකට අවසන් එකොළොස් දෙනා අතර ස්ථානයක් අහිමි වී තිබීම කැපී පෙනෙන සිදුවීමකි. කණ්ඩායම් කළමනාකාරීත්වය තරුණ ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට සහ විස්සයි-20 ලෝක කුසලානය ඉලක්ක කරමින් නව සංයෝජන අත්හදා බැලීමට මෙහිදී අවධානය යොමු කර ඇති බව පෙනෙන්නට තිබේ.

පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, ලසිත් කෲස්පුල්ලේ, පවන් රත්නායකගේ සහ කමිඳු මෙන්ඩිස් පිතිකරුවන් වශයෙන් දායකත්වය ලබා දෙන අතර දසුන් ශානක සහ වනිඳු හසරංග තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙසින් ක්‍රීඩා කරති. මහේෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඒෂාන් මාලිංග සහ ඩිල්ෂාන් මධුශංක පන්දු යැවීමේ වගකීම දරනු ඇත.

ෂිම්රන් හෙට්මයර්, රොව්මන් පවෙල්, ජේසන් හෝල්ඩර් සහ ශර්ෆේන් රදර්ෆඩ් වැනි ප්‍රහාරාත්මක පිතිකරුවන්ගෙන් සමන්විත කොදෙව් කණ්ඩායමේ පිතිකරණ අංශයශ්‍රී ලංකාවට විශාල අභියෝගයක් වනු ඇත.

ශ්‍රී ලංකාවට විශ්වාසය තැබිය හැකි ප්‍රධානතම අංශය වන්නේ පන්දු යැවීමයි. වනිඳු හසරංග කැරිබියන් දූපත්වලදී විස්සයි-20 තරගවල සුවිශේෂී දස්කම් දක්වා ඇති අතර ඉනිම් හතරකදී කඩුලු 10ක් දවාගෙන ලකුණු ලබාදීමේ සාමාන්‍යය 4.18ක් ලෙස සටහන් කර තිබේ. මීට අමතරව සංචාරය පුරා හොඳ රිද්මයක පසුවන දුෂ්මන්ත චමීර ද ශ්‍රී ලංකාවේ ප්‍රධාන අවියක් වනු ඇත.

2020 වසරෙන් පසු මෙම කණ්ඩායම් දෙක අතර පැවැති විස්සයි-20 තරග නවයෙන් කොදෙව්වෝ තරග පහක් ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග හතරක් පමණි. එහෙත් අවසන් තරග තුනෙන් දෙකක් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාව වීම ද විශේෂත්වයකි. තවද මෙම කණ්ඩායම් දෙක ජැමෙයිකාවේදී විස්සයි-20 ජාත්‍යන්තර තරගයකදී හමුවන පළමු අවස්ථාව ද මෙය වේ.

පළමු තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම: පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස් (නායක), ලසිත් කෲස්පුල්ලේ, පවන් රත්නායක, කමිඳු මෙන්ඩිස් (උප නායක), දසුන් ශානක, වනිඳු හසරංග, මහේෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඒෂාන් මාලිංග සහ ඩිල්ෂාන් මධුශංක.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee