slc
logo
Home   |    News
ජූනි 4, 2026
කුසල් දඟ පන්දු යවන්නන්ට හොඳට බැට් කළා… ඒක තමයි ටර්නිං පොයින්ට් එක” – පැතුම්

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ජැමෙයිකාවේ සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ කුසල් මෙන්ඩිස් දඟ පන්දු යවන්නන්ට එරෙහිව දැක්වූ පිතිහරඹය බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පවසයි.

තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ කුසල් මෙන්ඩිස්ගේ ඉනිමත් සමඟ තරගයේ වාසිය ශ්‍රී ලංකාව දෙසට හැරුණු බවයි.

“කුසල් දඟ පන්දු යවන්නන්ට හොඳට බැට් කළා. ඉතිං මං හිතනවා ඒක තමයි ටර්නිං පොයින්ට් එක වුණේ කියලා මේ තරගය අපේ පැත්තට වාසි වෙන්න“ යැයි පැතුම් පැවසීය.

කුසල් මෙන්ඩිස්ගේ වේගවත් ලකුණු 72ක ඉනිමත්, දුෂ්මන්ත චමීරගේ කඩුලු 4ක විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගයෙන් ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. දුර්වල පන්දු දුටු විගස ඊට ප්‍රතිචාර දැක්වූ කුසල් ගුඩාකේෂ් මෝටි යැවූ පන්දුවාර 4 දී හයේ පහර 4 කින් සංග්‍රහ කළේය. අවසානයේ ඔහු පිටියෙන් ඉවත් වන විට පන්දු 62 කින් ලකුණු 72 ක් ලබා ගත්තේ තරගයේ වීරයා සම්මානයද තමන් වෙත හරවා ගනිමිනි.

සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 7කට ලකුණු 303ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වෝ සියලු දෙනා දැවී ලකුණු 262කට සීමා වූහ. ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සංක ලකුණු 79ක් රැස් කළේ පන්දු 103කට මුහුණ දෙමිනි. සිය සුපුරුදු පිතිහරඹ රටාවට වඩා සංයමයෙන් යුතුව ක්‍රීඩා කළ ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 9ක් ඇතුළත් විය.

කෙසේ වෙතත් තරගයේ ආරම්භක ඕවර කිහිපය තමන්ට පහසු නොවූ බව පැතුම් පැවසීය.

“ඇත්තටම මුල් ඕවර්ස්වල පොඩ්ඩක් අමාරු වුණා පන්දුවට පහර දෙන්න. පවර් ප්ලේ එකේ සෑහෙන්න අමාරු වුණා. මොකද ඒගොල්ලන්ගේ බෝලර්ස්ලා හොඳට බෝල් කළා. ඔවුන් ලයින් ඇන්ඩ් ලෙන්ත් වල බෝල් කළා,” යැයි ඔහු සඳහන් කළේය.

එම අවස්ථාවේදී තමන්ගේ අරමුණ වූයේ අවදානම් නොගෙන පවර් ප්ලේ කාලසීමාව අවසන් වන තෙක් කඩුල්ල ආරක්ෂා කර ගැනීම බවද ඔහු කියා සිටියේය.

“මගේ පැත්තෙන් මම බැලුවේ කොහොම හරි පවර් ප්ලේ ඉවර වෙනකල් නෝමල් ගහන්න. මොකද මම දන්නවා පවර් ප්ලේ එකෙන් පස්සේ ස්කෝර් කරන්නේ කොහොමද කියලා“ යැයි පැතුම් පැවසීය.

කුසල් මෙන්ඩිස් සමඟ ගොඩනැගුණු සබඳතාව පිළිබඳව ද අදහස් දැක්වූ ඔහු තරගය දිගුකාලීනව ගොඩනැගීම තමන්ගේ සැලසුම වූ බව සඳහන් කළේය.

“කුසල් මෙන්ඩිස් ආවහම පස්සේ මට ලේසි වුණා පන්දුවට පහර දෙන්න. ඔහු හොඳ ඉනිමක් ක්‍රීඩා කළා. අපි දෙන්නා කතා කළේ පුළුවන් තරම් තරගය දිගට ඇදගෙන යන්න. ඕවර්ස් 30ක් 40ක් වෙනකම් ගහන්නේ කොහොමද කියලා තමයි අපි ප්ලෑන් කළේ“ යැයි පැතුම් වැඩිදුරටත් පැවසීය.

එක්දින තරග බිමේ කාලයකට පසුව ක්‍රීඩා කළ තමන්ට මෙම ජයග්‍රහණය හොඳ ආරම්භයක් බවද ඔහු සඳහන් කළේය.

“හොඳ ආරම්භයක් ගත්තා සීසන් එකේ පළවැනි මැච් එකෙන්. කාලෙකට පස්සේ තමයි එක්දින තරගයක සෙල්ලම් කරන්නේ. ඉතිං මං හිතනවා මේ රිද්මයෙන්ම ඉදිරි තරගවලත් ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි කියලා“ යැයි පැතුම් කියා සිටියේය.

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee