හරියටම වසරක නිහැඬියාවකට පසු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම යළිත් ජුනි 25 වැනිදා රතු පන්දුවේ සටනට පිවිසෙයි. සෝබර්ස් – තිසේරා කුසලාන වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඇන්ටිගුවාහි සර් විව් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර, එය ශ්‍රී ලංකාවට ලෝක ටෙස්ට් ශූරතා (WTC) ගමනේ ඉතා වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්ව තිබේ.
එක්දින තරගාවලිය වර්ෂාවෙන් බාධා වූ අතර, පන්දුවාර 20 තරගාවලිය තරගකාරී අයුරින් නිමාවට පත්විය. ඒ සියල්ලෙන් පසු දැන් දෙපිලම අවධානය යොමු කර ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ ගැඹුරුම පරීක්ෂණය වන ටෙස්ට් පිටිය වෙතය.
ශ්‍රී ලංකාව ටෙස්ට් ලෝක ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන අතර, ලබන වසරේ ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහා තරගයට යාමේ බලාපොරොත්තු තවදුරටත් තහවුරු කර ගැනීමට මෙම තරගාවලිය විශාල වටිනාකමක් ගනු ඇත.
අනෙක් අතට ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ පතුලටම වැටී සිටින කොදෙව්වෝ මේ වන විට තමන් ක්‍රීඩා කළ තරග 8කින් 7ක්ම පරාජය වී සිටිති. එබැවින් ඔවුන්ට මෙය රතු පන්දුවේ බිඳවැටුණු ගමන යළි ගොඩනැගීමට ඇති අවස්ථාවකි.
ශ්‍රී ලංකාව අවසන් වරට ටෙස්ට් තරගයකට පිවිසියේ 2025 ජූනි 25 වැනිදා බංග්ලාදේශයට එරෙහිවය. එතැන් සිට වසරක් පුරා ටෙස්ට් පිටියෙන් ඈත්ව සිටි ලාංකිකයෝ, දැන් යළිත් එම අභියෝගය භාර ගැනීමට සූදානම්ව සිටිති. එහෙත් මේ වතාවේ ඔවුන් ඉදිරියේ තිබෙන්නේ සරල තරගාවලියක් නොවන අතර, නුහුරු විදෙස් තණතීරුවක, කොදෙව් වේග පන්දු බලඇණිය හමුවේ පැවැත්වෙන සටනකි.
ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලෝක ටෙස්ට් ශූරතා සටහනේ ඉහළින් සිටියද එම තත්ත්වය බොහෝ දුරට ගොඩනැගී ඇත්තේ පසුගිය වසරේ බංග්ලාදේශයට එරෙහිව මව්බිමේදී ලැබූ 1-0ක තරගාවලි ජය මතය. එබැවින් ලෝක ටෙස්ට් ශූතර අවසන් මහා තරගයට යෑමේ බලාපොරොත්තු සැබෑ කර ගැනීමට නම්, ශ්‍රී ලංකාවට විදේශ බිමේද ජයග්‍රහණ රැස් කළ යුතුමය. ඒ අනුව බැලූ විට, ඇන්ටිගුවා ටෙස්ට් තරගය සාමාන්‍ය ආරම්භයක් නොව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ඊළඟ පියවර මැන බැලෙන වැදගත් මොහොතක් බවට පත්වේ.
බටහිර ඉන්දීය කොදෙව්වන්ට නම් මෙම තරගාවලිය තවත් ආකාරයක අර්ථයක් ගෙන දෙයි. දිගුකාලීනව ටෙස්ට් ක්‍රිකට් පිටියේ පසුබෑමකට මුහුණ දී සිටින ඔවුන්ට තමන්ගේ සුපිරුදු හැකියාවන් වලට නැවත පැමිණීමට මෙම තරගාවලිය වැදගත් වේ.
ශ්‍රී ලංකාව සහ කොදෙව්වෝ අවසන් වරට ඇන්ටිගුවාහිදී ටෙස්ට් තරගාවලියකට මුහුණ දුන්නේ 2021 වසරේදීය. එම තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් වූයේ පිතිකරුවන්ට හිතකර තණතීරු මතය. එහෙත් මෙවර තත්ත්වය එසේ නොවිය හැකි බවට සලකුණු පෙනෙයි. මෑතකාලීන දේශීය තරගවලින් පෙන්නුම් කර ඇත්තේ මෙවර තණතීරුවේ වේග පන්දු යවන්නන්ට යම් වාසියක් හිමි විය හැකි බැවිනි. පන්දුවේ ඉපිලීම, දෝලනය සහ ආරම්භක පැය කිහිපයේ වේග පන්දු යවන්නන්ට ලබාදෙනු ලබන සහාය දෙපිලේම පිතිකරුවන්ට දැඩි අභියෝගාත්මක වනු ඇත.
ශ්‍රී ලංකා පිතිකරණයේ ප්‍රධාන බලාපොරොත්තු නැවතත් නායක ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල් සහ පැතුම් නිස්සංක වටා ගොඩනැගෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. පන්දු යැවීමේ අංශයෙන් සිව් දෙනෙකු ක්‍රීඩා කරන අතර, අසිත ප්‍රනාන්දු එහි ප්‍රධානියා වන්නේය. තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් මිලාන් රත්නායක ක්‍රීඩා කරද්දී, ළහිරු කුමාර සහ කසුන් රජිත වේග පන්දු පන්දුවට පණ පොවන සෙස්සෝ වෙති.
අනෙක් අතට, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ වන විට ලෝක ටෙස්ට් ශූරතා සටහනේ අවසන් ස්ථානයේ පසුවන අතර, තම ටෙස්ට් ගමන යළි ප්‍රබල කර ගැනීමේ අරමුණින් මෙම තරගාවලියට පිවිසෙයි. ඔවුන්ගේ වේග පන්දු බලඇණිය වන අල්සාරි ජෝසප්, ජේඩන් සීල්ස් සහ ෂමර් ජෝසප් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රධාන අභියෝගයක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති තවත් විශේෂ අභියෝගයක් වන්නේ කැරිබියන් දූපත්වලදී පළමු වරට ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමයි. ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථා 5 කදී බටහිර ඉන්දීය දූපත්හි ටෙස්ට් තරග සංචාරයන්ට සහභාගිව තිබෙන නමුත්, ඒ එක් අවස්ථාවකදී හෝ ටෙස්ට් තරගාවලියක ජයක් ලබා නොමැත. ඒ අනුව ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට එම ඉතිහාසය වෙනස් කිරීමේ අරමුණින් පිටියට පිවිසෙති.
ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායම්
ශ්‍රී ලංකාව – 1. පැතුම් නිස්සංක, 2. නිශාන් මධුෂ්ක, 3. දිනේෂ් චන්දිමාල්, 4. කමිඳු මෙන්ඩිස්, 5. ධනංජය ද සිල්වා (නායක), 6. කුසල් මෙන්ඩිස්, 7. සොනල් දිනූෂ, 8. මිලාන් රත්නායක, 9. කසුන් රාජිත, 10. ලහිරු කුමාර, 11. අසිත ප්‍රනාන්දු.
බටහිර ඉන්දීය කොදෙව් – 1. ජෝන් කැම්ප්බෙල්, 2. ටැජනරයින් චන්ඩර්පාල්, 3. බ්‍රෙන්ඩන් කිං, 4. කේවම් හොජ්, 5. ශායි හෝප්, 6. රොස්ටන් චේස් (නායක), 7. ජොෂුවා ද සිල්වා, 8. ජේඩන් සීල්ස්, 9. අල්සාරි ජෝසෆ්, 10. ෂමර් ජෝසප්, 11. කෙමාර් රෝච්.





