slc
logo
Home   |    News
ජූනි 14, 2026
ශ්‍රී ලංකා පිල තරගාවලිය සම කරයි

sinhala editor

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ජැමෙයිකාවේ සබිනා පාර්ක් ක්‍රීඩාංගණයේ පැවති දෙවන විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී ලකුණු 37ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතර අවසන් තරගය දෙපිළටම තීරණාත්මක තරගයක් බවට පත්ව තිබේ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භයේදී යම් පීඩනයකට ලක් විය. ඉනිමේ මුල් භාගයේදී කඩුලු කිහිපයක්ම අහිමි වීම හේතුවෙන් ලකුණු 88ක් ලබා සිටියදී ශ්‍රී ලංකාවට කඩුලු 4ක් අහිමිව තිබිණි. එවැනි අසීරු අවස්ථාවක පිටියට පිවිසි නායක දසුන් ශානක සහ වමත් පිතිකරු කමිල් මිෂාර ඉනිමට නව ජීවයක් එක් කළහ.

මෙම යුගලය පන්දු 42කදී ලකුණු 103ක අගනා සම්බන්ධතාවක් ගොඩනඟමින් කොදෙව් පන්දු යවන්නන් දැඩි පීඩනයකට ලක් කළහ. ශානක සිය ස්වභාවික ප්‍රහාරාත්මක රටාවේ නියැළෙමින් පන්දු 24කින් ලකුණු 58ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් වූ අතර පන්දු 19කින් අර්ධ ශතකය සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයකු විසින් විස්සයි-20 ජාත්‍යන්තර තරගයකදී වාර්තා කළ වේගවත්ම අර්ධ ශතක වාර්තාව සම කිරීමටද සමත් විය.

විශේෂයෙන් රොස්ටන් චේස්ගේ පන්දුවලට එල්ල කළ දැවැන්ත හයේ පහරවල් සමගින් එල්ල කළ සුන්දර හතරේ පහර ඔහුගේ ඉනිමේ කැපී පෙනෙන අවස්ථා විය. කණ්ඩායම අසීරු තත්ත්වයක සිටියදී වගකීම ඉටු කරමින් ක්‍රීඩා කළ ශානකගේ ඉනිම තරගයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් විය.

අනෙක් අතට කමිල් මිෂාර ඉවසීමෙන් සහ බුද්ධිමත්ව ඉනිම ගොඩනඟමින් නොදැවී පන්දු 40කින් ලකුණු 61ක් ලබා ගත්තේය. මුල් අවස්ථාවේදී ප්‍රවේශමෙන් ක්‍රීඩා කළ ඔහු අවසන් පන්දුවාර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත විය. විශේෂයෙන් මැතිව් ෆෝඩ්ගේ පන්දු යැවීමට එරෙහිව එල්ල කළ දැවැන්ත හයේ පහරවල් ශ්‍රී ලංකා ලකුණු පුවරුව වේගයෙන් ඉහළ නැංවීමට හේතු විය. ඔහුගේ මෙම ඉනිම ශ්‍රී ලංකාවට කඩුලු 6ක් දැවී ලකුණු 194ක ප්‍රබල මුළු ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට මහත් දායකත්වයක් සැපයීය.

ලකුණු 195ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දුෂ්මන්ත චමීර සහ දුනිත් වෙල්ලාලගේ මුල් පන්දුවාරවලදීම දැඩි පීඩනයක් එල්ල කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස කොදෙව් කණ්ඩායම ලකුණු 09 කට කඩුලු 2ක් අහිමි කරගත්තේය. කෙසේ වෙතත් ශිම්රන් හෙට්මයර් සහ රොව්මන් පවෙල් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනඟමින් තරගය නැවත සිය කණ්ඩායමට වාසිදායක තත්ත්වයකට ගෙන ඒමට උත්සාහ කළහ.

ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ අතර එක් අවස්ථාවක කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා ගමන් කරමින් සිටින බවක්ද පෙනී ගියේය. එහෙත් පවන් රත්නායකගේ විශිෂ්ට දුවද්දී දැවී යාමකින් එම සම්බන්ධතාව බිඳ වැටීමත් සමඟ තරගයේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් විය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ තරගයේ පාලනය සියතට ගත්හ. මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග සහ දුනිත් වෙල්ලාලගේ මැද පෙළ පිතිකරුවන් අසීරුතාවට පත් කරමින් නිරන්තරයෙන් කඩුලු බිඳ හෙළූහ. විශේෂයෙන් හසරංගගේ ගූග්ලි පන්දු කොදෙව් පිතිකරුවන්ට මහත් හිසරදයක් බවට පත්විය. ඔහු කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ කැපී පෙනෙන පන්දු යවන්නකු බවට පත් විය.

දුෂ්මන්ත චමීරද නැවතත් තීරණාත්මක මොහොතක කණ්ඩායම වෙනුවෙන් දස්කම් දක්වමින් ලකුණු 9කට කඩුලු 3ක් දවා ගත්තේය. ඔහුගේ වේගවත් පන්දු යැවීම හමුවේ කොදෙව් පිතිකරුවන්ට අවශ්‍ය ලකුණු වේගය පවත්වා ගැනීමට නොහැකි විය. අවසානයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 157කට සියලු දෙනා දැවී ගිය අතර ශ්‍රී ලංකාවට ලකුණු 37ක විශිෂ්ට ජයක් හිමි විය.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමේ සටන්කාමීත්වය සහ කණ්ඩායම් හැකියාව මනාව පෙන්නුම් කළ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. පිතිකරණයේදී දසුන් ශානක සහ කමිල් මිෂාර ද පන්දු යැවීමේදී වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණ ද දැක්වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙම ජයග්‍රහණය හිමි විය.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 194 යි – (දසුන් ශානක 58, කමිල් මිශාර 61, පැතුම් නිස්සංක 07, කුසල් මෙන්ඩිස් 31, පවන් රත්නායක 01, කමිදු මෙන්ඩිස් 24, දුනිත් වෙල්ලාලගේ 01*, ෂමාර් ජෝසප් 32/3, මැතිව් ෆෝඩ් 38/2, ශමාර් ස්ප්‍රිංගර් 40/1)

බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම පන්දුවාර 18.1 කදීි සියලු දෙනා දැවී ලකුණු 157 යි – (ශෙෆාන් රදර්ෆර්ඩ් 14, රොස්ටන් චේස් 17, අකීල් හොසේන් 14, ශමාර් ජෝසප් 11, ශිම්රන් හෙට්මේයර් 36, රෝව්මන් පවෙල් 43, දුනිත් වෙල්ලාලගේ 28/2, දුෂ්මන්ත චමීර 09/3, වනිඳු හසරංග 38/3, මහීෂ් තීක්ෂණ 34/1)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee