“Hold SLC Elections or Get Blacklisted, ICC Informs President AKD” යන ශීර්ෂය යටතේ ඩේලි මිරර් පුවත්පතේ මුල් පිටුවේ පළ කර ඇති වාර්තාව අසත්‍ය හා නොමඟ යවනසුලු පුවතක් බව රජය නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ජේ ෂා මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති හමුව සම්පූර්ණයෙන්ම විකෘති කරමින් මෙම පුවත සකස් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එම හමුවේදී ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව, යටිතල පහසුකම් සංවර්ධනය, සහ තරුණ තරුණියන් සඳහා ක්‍රිකට් අවස්ථා පුළුල් කිරීම පිළිබඳ කරුණු පිළිබඳව අවධානය යොමු වූ බව ජනාධිපතිවරයා සහ ICC සභාපතිවරයා යන දෙදෙනාම සිය නිල X ගිණුම් ඔස්සේ තහවුරු කර තිබේ.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය, අසාදු ලේඛනගත කිරීමක්, හෝ එවැනි කිසිදු තර්ජනාත්මක අවසන් නිවේදනයක් පිළිබඳව කිසිදු සඳහනක් සිදු නොවූ බවද රජය අවධාරණය කරයි. එසේම, ඒ සම්බන්ධයෙන් කිසිදු නිල නිවේදනයක් ද නිකුත් කර නොමැති බවද සඳහන් කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ICC සභාපති ජේ ෂා මහතා විසින් නිකුත් කළ නිල ප්‍රකාශ සෘජුවම පරිශීලනය කිරීමේ හැකියාව පවතින පසුබිමක, මෙවැනි අසත්‍ය හා පදනම් විරහිත පුවත් පළ කිරීම අදාළ පුවත්පතේ විශ්වසනීයත්වයට බරපතළ හානියක් සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.
ඒ අනුව, අදාළ අසත්‍ය පුවත සම්බන්ධයෙන් මෙම නිවේදනය ප්රමුඛත්වයෙන් පළ කරන ලෙසත්, මුද්‍රිත සහ අන්තර්ජාල සංස්කරණ දෙකෙන්ම එම පුවත ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් රජය ඩේලි මිරර් පුවත්පතෙන් ඉල්ලා සිටී.
– ජනාධිපති මාධ්‍ය අංශය





