ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා සකස් කරන ලද නව ව්‍යවස්ථා කෙටුම්පත තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වෙත භාරදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
ඒ මහතා මේ බව අනාවරණය කළේ අද (28) ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවති මාසික මාධ්‍ය හමුවේදීය.
නව ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව සඳහන් කළ වික්‍රමරත්න මහතා, එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත උදෙසා පුළුල් සාකච්ඡා සහ විවිධ පාර්ශ්වයන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් සකස් කළ ලේඛනයක් බව පැවසීය.
“මෙය පහසු කාර්යයක් නොවෙයි. විවිධ අදහස් සහ යෝජනා රැසක් අප වෙත ඉදිරිපත් වුණා. ඒ සියල්ල සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් වඩාත් සුදුසු, පිරිසිදු සහ ශක්තිමත් ව්‍යවස්ථාවක් සකස් කිරීමට අප කටයුතු කළා,” යනුවෙන් එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ව්‍යවස්ථාමය අවශ්‍යතා මෙන්ම ශ්‍රී ලංකාවේ නීතිමය විධිවිධානද සැලකිල්ලට ගනිමින් කෙටුම්පත සකස් කර ඇති අතර, එය ගැසට් නිවේදනයක් ලෙස ප්‍රකාශයට පත් කරන තෙක් අවශ්‍ය යෝජනා ඇතුළත් කිරීමේ හැකියාව පවතින බවද හෙතෙම පැවසීය.
“ICC සමඟ ආරම්භයේ සිටම අප අඛණ්ඩව සාකච්ඡා කළා. ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ මෙම ක්‍රියාවලිය හැකි ඉක්මනින් අවසන් කර නව ව්‍යවස්ථාව යටතේ මැතිවරණය පැවැත්වීමයි. ව්‍යවස්ථා කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බැවින් දැන් අපගේ වැඩි අවධානය යොමුවන්නේ කළමනාකරණ හා මූල්‍ය ප්‍රතිසංස්කරණ වෙතයි,” යනුවෙන්ද ඔහු පැවසීය.
නව ව්‍යවස්ථාව රජය මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ගැසට් කිරීමෙන් අනතුරුව නීතියෙන් නියමිත කාලසීමාව තුළ මහජන අදහස් හා විරෝධතා ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවන බවද වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
“අපගේ ප්‍රධාන අවධානය යහපත් පාලනයක් පිළිබඳවයි. එහෙත් මූල්‍ය කළමනාකරණයද ඒ තරමටම වැදගත්. අපගේ අරමුණ වන්නේ පද්ධතිය නිවැරදි කිරීමයි. මේ රටේ පාසල් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දියුණුව වෙනුවෙන් සෑම රුපියලක්ම නිසි ලෙස භාවිත වන පරිසරයක් නිර්මාණය කිරීමයි,” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
පරිවර්තන කමිටුවේ සාමාජික සිදත් වෙත්තමුණි මහතා සඳහන් කළේ, මෙම නව ව්‍යවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව යුගයකට මඟ පෙන්වන ලේඛනයක් වනු ඇති බවයි.
“2015 දී අප සකස් කළ ව්‍යවස්ථාවට වඩා මෙය ඉදිරිගාමී ලේඛනයක්. ලොව ප්‍රමුඛ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල ව්‍යවස්ථා අධ්‍යයනය කරමින් මෙය සකස් කළා. මෙම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් නව මානයකට ගෙන යා හැකි බව අපගේ විශ්වාසයයි,” යැයි වෙත්තමුණි මහතා පැවසීය.
එමෙන්ම නව ව්‍යවස්ථාව යටතේ ඡන්ද ක්‍රමයේ සංශෝධනද යෝජනා කර ඇති අතර, Tier A තරගාවලියේ ක්‍රීඩා කරන සමාජ සඳහා ඡන්ද දෙකක් සහ Tier B සමාජ සඳහා එක් ඡන්දයක් හිමිවන පරිදි එය සංශෝධනය කර තිබේ. තවද, විනිවිදභාවය හා වගවීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තේරී පත්වන සහ පත්කරනු ලබන සාමාජිකයන්ගෙන් සමන්විත පාලන ව්‍යුහයක්ද යෝජනා කර ඇත.
මේ අතර, පසුගිය මූල්‍ය වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාවද පරිවර්තන කමිටුව වෙත ලැබී ඇති බව වික්‍රමරත්න මහතා අනාවරණය කළේය.
“විගණකාධිපති වාර්තාවේ බදු, මූල්‍ය වගකීම්, සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු, අවශ්‍යතා ගැටුම්, සංගම් හා ක්‍රීඩා සමාජ වෙත ලබාදී ඇති ප්‍රදාන ඇතුළු කරුණු රැසක් පිළිබඳ නිරීක්ෂණ ඇතුළත්. මුලින්ම මූල්‍ය කමිටුව එය සමාලෝචනය කර අවශ්‍ය පිළිතුරු සකස් කරනු ඇත,” යනුවෙන් ඔහු පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවති හමුව පිළිබඳවද අදහස් දැක්වූ වික්‍රමරත්න මහතා සඳහන් කළේ, පරිවර්තන කමිටුව දේශපාලන බලපෑම්වලින් තොර ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කරන බවත්, නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු අදාළ පාර්ශ්වයන් දැනුවත් කළ බවත්ය.
“අපි ජනාධිපතිවරයාට පමණක් නොව, මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට්හි නිලතල දැරූ පුද්ගලයන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් ද හමු වී අපගේ සැලසුම් පැහැදිලි කළා. පරිවර්තන කමිටුව දේශපාලන බලපෑම්වලින් ස්වාධීනව කටයුතු කරන බවත්, එම ස්වාධීනත්වය රජය විසින්ද ගරු කරන බවත් අපි අවධාරණය කළා,” යනුවෙන් එරාන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.





