slc
logo
Home   |    News
අගෝස්තු 18, 2026
චන්දිමාල්ට ආබාධයක් – පසිඳුට මංගල ටෙස්ට් වරම්

sinhala editor

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීණ පිතිකරු දිනේෂ් චන්දිමාල් ඉන්දියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ පළමු සැසියේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

අද (18) පන්දු රකිමින් සිටියදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී බිම ඇද වැටුණු චන්දිමාල්ගේ උරහිස සහ හිස බිම වැදී තිබේ. අනතුරුව ඔහු පූර්වාරක්ෂක පියවරක් ලෙස ස්කෑන් පරීක්ෂණයකට යොමු කළ අතර, එහිදී අභ්‍යන්තර ආබාධයක් නොමැති බව තහවුරු වී තිබේ.

කෙසේ වෙතත්, පිටියේදීම කණ්ඩායම් වෛද්‍යවරයා සහ භෞත චිකිත්සකවරයා විසින් චන්දිමාල්ගේ තත්ත්වය පිළිබඳව කම්පන තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර ඇගයීමක් සිදුකර ඇති අතර, එම පරීක්ෂණයෙන් අනතුරුව ඔහුට තවදුරටත් තරගයට සහභාගි විය නොහැකි බව තීරණය කර තිබේ.

ඒ අනුව චන්දිමාල් වෙනුවට පසිඳු සූරියබණ්ඩාර ශ්‍රී ලංකා කණ්ඩායමේ කම්පන ආදේශක ක්‍රීඩකයා ලෙස නම් කර ඇති අතර, එම ආදේශය තරග තීරකවරයා විසින් ද අනුමත කර තිබේ.

චන්දිමාල්ගේ ආබාධය ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත පාඩුවක් වුවද, ඒ වෙනුවට පසිඳු සූරියබණ්ඩාරට සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ ඓතිහාසික අවස්ථාව හිමිව තිබේ. ඒ අනුව පසිඳු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 172 වැනි ක්‍රීඩකයා බවට පත්වන අතර, කම්පන ආදේශක ක්‍රීඩකයෙකු ලෙස පැමිණ ටෙස්ට් මංගල තරගයට ක්‍රීඩා කරන ලොව සිව්වැනි ක්‍රීඩකයා සහ ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩකයා ලෙස ද ඉතිහාසයට එක්වනු ඇත. මීට පෙර 2020දී සිම්බාබ්වේ ක්‍රීඩක බ්‍රයන් මුඩ්සිංගන්‍යාමාටත්, 2022දී එංගලන්ත ක්‍රීඩක මැට් පාකින්සන්ටත් සහ 2023 දී ඇෆ්ගනිස්තානු ක්‍රීඩක බහීර් ෂා ත් කම්පන අවස්ථාවකදී ටෙස්ට් වරම් දිනාගත් ක්‍රීඩකයෝ වෙති.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar