ඉන්දියානු දඟ පන්දු යවන්නන්ගේ අභියෝගාත්මක පන්දු යැවීම හමුවේ ලකුණු 90කට කඩුලු 5ක් බිඳ වැටී අසීරු තත්ත්වයකට පත්ව සිටි ශ්‍රී ලංකා ඉනිම සෝනල් දිනූෂ සහ නිරෝෂන් දික්වැල්ල එක්ව ගොඩනැගූ ලකුණු 146ක විශිෂ්ට සබඳතාව හේතුවෙන් යම් ස්ථාවරත්වයකට පත්විය. සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ දිනූෂ ශ්‍රී ලංකා ඉනිමට නව ජීවයක් එක් කළද, මනව් සුතාර්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 284කට සීමා වීමෙන් ඉන්දියාවට පළමු ඉනිමේදී ලකුණු 178ක දැවැන්ත වාසියක් හිමි විය.
තරගයේ ආරම්භයේ සිටම ඉන්දියානු පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළහ. මොහොමඩ් සිරාජ් පළමු පන්දුවාරයේදීම නිශාන් මධුෂ්ක දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමට පීඩනයක් එක් කළ අතර, පසුව මනව් සුතාර් සිය පළමු පන්දුවෙන්ම අත්දැකීම් බහුල දිනේෂ් චන්දිමාල් දවා ගනිමින් ඉන්දියාවේ ආධිපත්‍යය තවත් තහවුරු කළේය.
සුතාර් නව පන්දුවෙන් දඟ කැවීම සහ පන්දුවේ ඉහළට එසවීම මනාව උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන් අසීරුතාවට පත් කළ අතර, ලහිරු උදාරද ඔහුගේ පන්දුවකට බැක්වර්ඩ් පොයින්ට්හිදී උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.
එහෙත් ලකුණු 90කට කඩුලු 5ක් බිඳ වැටී තිබූ අවස්ථාවේදී පිටියට එක් වූ දිනූෂ සහ දික්වැල්ල ඉන්දියානු පන්දු යවන්නන්ට එරෙහිව අභියෝගාත්මක පිතිකරණයක නිරත වෙමින් ශ්‍රී ලංකා ඉනිම නැවත ගොඩනැගූහ. පන්දුව පැරණි වීමත් සමඟ ඔවුන් ස්වීප්, රිවර්ස් ස්වීප් සහ ස්ලොග් පහරවල් සාර්ථකව භාවිත කරමින් ඉන්දියානු දඟ පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කළහ.
දිනූෂ සිය මංගල ටෙස්ට් ශතකය සම්පූර්ණ කළ අතර, දික්වැල්ල ලකුණු 80ක් රැස් කළේය. ඔවුන් දෙදෙනාගේ ලකුණු 146ක සබඳතාව ශ්‍රී ලංකාවට පසු ඉනිමකට යැවීමේ අවදානමෙන්ද ගැලවීමට උපකාරී විය.
දික්වැල්ලගේ ලකුණු 80ක ඉනිම විශේෂ අවධානයක් දිනාගත්තේ ඔහු සිය අර්ධ ශතකය ඉක්මවා ගියද තවමත් ටෙස්ට් ශතකයක් ලබා ගැනීමට නොහැකි වී සිටින බැවිනි. මෙම ඉනිමත් සමඟ ශතකයක් නොමැතිව වැඩිම ටෙස්ට් අර්ධ ශතක සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරුවා ලෙස ඇති අවාසනාවන්ත වාර්තාවද ඔහු සතු විය.
කෙසේ වෙතත්, දික්වැල්ලගේ ඉනිම අවසන් කිරීමට ප්‍රසිද්ධ ක්‍රිෂ්ණා සමත් වූ අතර, දිනූෂ සිය ශතකය සම්පූර්ණ කළ වහාම ජඩේජාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව දැවී ගියේය. පසුව ලහිරු කුමාර ස්ටම්ප් කිරීමකට හසුකර ගනිමින් සුතාර් සිය සිව්වැනි කඩුල්ලද දවා ගත්තේය.
ඉන්දියාව වෙනුවෙන් සුතාර් කඩුලු 4ක් දවා ගත් අතර, රවීන්ද්‍ර ජඩේජා කඩුලු 3ක් ලබා ගත්තේය. ජඩේජා කේෂර නුවන්ත දවා ගැනීමත් සමඟ ටෙස්ට් කඩුලු 350 සම්පූර්ණ කළ ලොව නවවැනි දඟ පන්දු යවන්නා බවට පත්විය.
අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ පන්දුවට පහරදීමද පන්දුවාර 13ක් යැවීමට ඉතිරිව තිබියදී තෙවැනි දිනට තරගය නතර කර දැමීය.
ඉන්දියාව පළමු ඉනිම පන්දුවාර 116/4 කදී සියලුදෙනා දැවී ලකුණු 464 යි – (දෙව්දත් පඩික්කල් 167, ධෘව් ජුරෙල් 53, කේ.එල්. රාහුල් 81, රිෂාබ් පාන්ට් 39, යෂස්වි ජයිස්වාල් 32, ශුබ්මන් ගිල් 16, රවීන්ද්‍ර ජඩේජා 13, මානව් සුතර් 24, මොහොමඩ් ශිරාජ් 11, කුල්දීප් යාදව් 13*, ප්‍රසිද් ක්‍රිෂ්ණා 01, ප්‍රභාත් ජයසූරිය 109/4, කේෂර නුවන්ත 175/3, අසිත ප්‍රනාන්දු 63/2)
ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 79.4 කදී සියලු දෙනා දැවී ලකුණු 284 යි – (සොනාල් දිනූෂ 100, නිරෝෂන් දික්වැල්ල 80, ළහිරු උදාර 27, නිශාන් මදුෂ්ක 00, දිනේෂ් චන්දිමාල් 04 කමිඳු මෙන්ඩිස් 14, ධනංජය ද සිල්වා 21, කේෂර නුවන්ත 02, ප්‍රභාත් ජයසූරිය 10, ළහිරු කුමාර 10, අසිත ප්‍රනාන්දු 00*, මානව් සුතාර් 76/4, රවීන්ද්‍ර ජඩේජා 57/3, මොහොමඩ් සිරාජ් 29/1, ප්‍රසිද් ක්‍රිෂ්ණා 47/1, කුල්දීප් යාදව් 65/1)




