slc
logo
Home   |    News
අගෝස්තු 22, 2026
එස්.එස්.සී. සටනට පෙර ධනංජයගෙන් වේග පන්දු යවන්නන්ට පණිවුඩයක්

sinhala editor

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වේග පන්දු බලඇණිය තවදුරටත් ශක්තිමත් කරමින් පැයට කිලෝමීටර් 140කට වැඩි වේගයකින් පන්දු යැවිය හැකි වේග පන්දු යවන්නන් දෙදෙනකු හෝ තිදෙනකු බිහිකර ගැනීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා අවධාරණය කරයි.

ඉන්දියාවට එරෙහිව කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට පෙර අදහස් දක්වමින් ධනංජය පෙන්වා දුන්නේ, දැනට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය තුළ පැයට කිලෝමීටර් 140කට වැඩි වේගයකින් පන්දු යැවිය හැකි ක්‍රීඩකයකු සිටින්නේ එක් අයකු පමණක් බවයි.

ශ්‍රී ලංකා වේග පන්දු බලඇණියේ ප්‍රධාන තුරුම්පුව බවට පත්ව සිටින අසිත ප්‍රනාන්දු පසුගිය වසර කිහිපය පුරාම ස්ථාවර දක්ෂතා දක්වා ඇති අතර, ඔහු සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 130ක පමණ වේගයකින් පන්දුව යවමින් නිරවද්‍යතාව සහ තීව්‍රතාව පවත්වාගෙන යයි.

අසිත සමඟ වේගය මත පදනම් වූ පන්දු යැවීමක් ලබාදීම සඳහා ශ්‍රී ලංකාව වැඩි වශයෙන් භාවිත කර ඇති පන්දු යවන්නා වන්නේ ලහිරු කුමාරය. ටෙස්ට් තරග 36කදී කඩුලු 106ක් ලබාගෙන ඇති කුමාරගේ ටෙස්ට් කඩුලු සාමාන්‍යය 36.38ක් වන අතර, ඉන්දියාවට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඔහු කඩුලු 2ක් ලබාගත්තේ ලකුණු 104ක් ලබාදෙමිනි.

කෙසේ වෙතත්, ආබාධ හේතුවෙන් සිය ක්‍රිකට් දිවියේ අවස්ථා කිහිපයකදීම ටෙස්ට් තරග සම්පූර්ණ කිරීමට නොහැකි වූ ලහිරු කුමාර පිළිබඳවද ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුව තිබේ.

“අපි ලහිරු කුමාරව ආබාධවලින් තොරව ක්‍රීඩා කරවීමට ඉතා දැඩි උත්සාහයක් ගෙන තිබෙනවා. දැනට අප සතුව තිබෙන සම්පත් අනුව අසිත සමඟ පන්දු යැවීමට සුදුසුම ක්‍රීඩකයා ලහිරු කුමාරයි. අසිතගේ පන්දු යැවීමේ රේඛාව සහ පන්දු යැවීමේ ස්ථානය ඉතා හොඳයි. ලහිරු සතුව අවශ්‍ය වේගය තිබෙනවා. දැනට අප සතුව තිබෙන සම්පත් අනුව මේ දෙදෙනා තමයි හොඳම විකල්පය,” යැයි ධනංජය පැවසීය.

එහෙත් අනාගතයේදී තෝරා ගැනීමට හැකි වේග පන්දු යවන්නන්ගේ සංචිතය තවදුරටත් පුළුල් කිරීම සිය අපේක්ෂාව බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පද්ධතිය තුළ දැනටමත් දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක සහ මතීෂ පතිරණ වැනි වේග පන්දු යවන්නන් සිටින බව පෙන්වා දුන් ධනංජය, බහුදින තරග සඳහා ඔවුන්ගෙන් වැඩි දෙනකු භාවිත කිරීම පිළිබඳව තවදුරටත් අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන්නේය.

දිල්ෂාන් මධුශංක ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටියද, දේශීය විස්සයි20 තරගයකට ක්‍රීඩා කිරීම සඳහා ඔහුව සංචිතයෙන් මුදාහැර තිබූ අතර, එස්.එස්.සී. ටෙස්ට් තරගය සඳහාද ඔහු ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර නොමැත.

දුෂ්මන්ත චමීර සිය වෘත්තීය දිවියේ ටෙස්ට් තරග 12කට ක්‍රීඩා කර ඇති නමුත් ඔහු අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2021 වසරේදීය. ඔහුගේ ආබාධ ඉතිහාසය මෙන්ම සීමිත පන්දුවාර තරග සඳහා ඔහුගේ වැදගත්කම සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව ඔහු සීමිත පන්දුවාර තරග සඳහා ආරක්ෂා කර ගැනීමට කටයුතු කර තිබේ.

ධනංජයගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ටෙස්ට් තරගවලදී වේග පන්දු යවන්නන් දෙදෙනකු යොදා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබීමද කැපී පෙනේ. මීට පෙර ශ්‍රී ලංකාව සිය මව්බිමේදී දඟ පන්දු යවන්නන් කෙරෙහි වැඩි වශයෙන් රඳා සිටිමින් ඇතැම් අවස්ථාවල වේග පන්දු යවන්නකු පමණක් යොදාගත් අවස්ථාද තිබිණි.

“මගේ නායකත්වය යටතේ අපි ක්‍රීඩා කළ සෑම තරගයකදීම වේග පන්දු යවන්නන් දෙදෙනකු යොදාගෙන තිබෙනවා. අතීතයේදී අපි එක් වේග පන්දු යවන්නකු පමණක් යොදාගත් අවස්ථා තිබුණා. ශ්‍රී ලංකාවේදී වේග පන්දු යවන්නන්ට විශාල කාර්යභාරයක් තිබෙන බව මම විශ්වාස කරනවා. මෙහේදී වේග පන්දු යවන්නකුට කඩුලු ලබාගත හැකි නම්, ඔහුට ඕනෑම තැනක කඩුලු ලබාගත හැකියි. ඒක අපි ඉක්මනින් ඉගෙනගත යුතු දෙයක්,” යැයි ධනංජය පැවසීය.

පසුගිය වසර 15ක කාලය තුළ ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නකු ඉනිමක කඩුලු පහක් ලබාගෙන ඇත්තේ එක් අවස්ථාවකදී පමණි. ඒ 2017 වසරේදී ඉන්දියාවට එරෙහිව පැවැති තරගයකදී නුවන් ප්‍රදීප් ලකුණු 132කට කඩුලු 6ක් දවා ගැනීමයි.

එම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේදී සංචාරක කණ්ඩායම් නියෝජනය කළ වේග පන්දු යවන්නන් 14 දෙනකු ඉනිමක කඩුලු පහක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලබාගෙන තිබීම විශේෂත්වයකි. මිචෙල් ස්ටාර්ක් සහ ජුනයිඩ් ඛාන් එවැනි දක්ෂතාව තුන්වර බැගින් වාර්තා කර තිබේ.

“උදාහරණයක් විදිහට ගාල්ලේදී විදේශීය වේග පන්දු යවන්නන් කඩුලු පහක් ලබාගෙන තිබෙනවා. නමුත් මෑත කාලයේදී අපේ වේග පන්දු යවන්නන් කිසිවකු ගාල්ලේදී හෝ එස්.එස්.සී.යේදී එවැනි දක්ෂතාවක් දක්වා නැහැ. අපේ වේග පන්දු යවන්නන්ට ඒ විශ්වාසය අඩුයි. ඔවුන්ට තමන්ගේ දක්ෂතාවයෙන් තවත් සියයට කිහිපයක් ඉහළට යන්න පුළුවන් නම්, කණ්ඩායමක් ලෙස අපට තවත් ඉදිරියට යන්න පුළුවන්,” යැයි ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වේග පන්දු බලඇණියට දැනට පවතින සම්පත් අතරින් උපරිම ප්‍රයෝජන ගැනීම මෙන්ම, අනාගතයේදී පැයට කිලෝමීටර් 140කට වැඩි වේගයකින් පන්දු යැවිය හැකි ක්‍රීඩකයන් කිහිපදෙනකු බිහිකර ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියේ ඇති වැදගත් අවශ්‍යතාවක් බව ධනංජයගේ අදහස්වලින් පැහැදිලි වනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar