slc
logo
Home   |    News
අගෝස්තු 15, 2026
ගාල්ලේ 50 වැනි ටෙස්ට් තරගයේදී කේෂර නුවන්තට ටෙස්ට් වරම්

sinhala editor

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (15) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර, කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක ශුබ්මන් ගිල් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 50 වැනි ටෙස්ට් තරගය වන අතර, ආසියාවේ ටෙස්ට් තරග 50ක් පැවැත්වූ පළමු ක්‍රීඩාංගණය බවටද ගාල්ල පත්වෙයි.

ඉන්දියාවට අද දිනය විශේෂ වන්නේ රටේ 80 වැනි නිදහස් දිනය සමරන අතරතුර මෙම ටෙස්ට් තරගයට එක්වීම හේතුවෙනි. එමෙන්ම අද තරගය ඉන්දියාව සහභාගී වන 600 වැනි ටෙස්ට් තරගය වන අතර, ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එම සීමාව පසු කළ තෙවැනි කණ්ඩායම බවට ඉන්දියාව පත්වෙයි.

ඉන්දීය කණ්ඩායම පන්දු යවන්නන් පස්දෙනකු සමඟ තරගයට පිවිසෙන අතර, වේගපන්දු යවන්නන් දෙදෙනකු සහ වමත් දඟපන්දු යවන්නන් තිදෙනකු එම කණ්ඩායමට ඇතුළත්ය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් 25 හැවිරිදි දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක කේශර නුවන්ත අද ටෙස්ට් වරම් දිනාගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ 172 වැනි ක්‍රීඩකයා බවට ඔහු පත්වෙයි.

මේ අතර, නිශාන් මධුෂ්ක සහ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා කණ්ඩායමට යළි එක්ව සිටින අතර, ලහිරු කුමාර ද කණ්ඩායමට කැඳවා තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම වේගපන්දු යවන්නන් දෙදෙනකු, විශේෂඥ දඟපන්දු යවන්නන් දෙදෙනකු සහ තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනකු සමඟ තරගයට පිවිසෙයි.

අද තරගය ICC ලෝක ටෙස්ට් ශූරතා 2025–2027 තරග චක්‍රයට අයත් වන බැවින්, තරගාවලියේ ආරම්භක තරගය දෙපිලටම ඉතා වැදගත් තරගයක් බවට පත්ව තිබේ.

ඉන්දීය කණ්ඩායම:
යෂස්වි ජයිස්වාල්, කේ. එල්. රාහුල්, දේව්දත් පඩික්කාල්, ශුබ්මන් ගිල් (නායක), රිෂාබ් පාන්ට් (කඩුලු රකින්නා), රවීන්ද්‍ර ජඩේජා, ධෘව් ජුරෙල්, මනව් සුතර්, කුල්දීප් යාදව්, මොහොමඩ් සිරාජ්, ප්‍රසිද් ක්‍රිෂ්ණා.

ශ්‍රී ලංකා කණ්ඩායම:
ළහිරු උදාර, නිශාන් මධුෂ්ක, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා (නායක), සොනාල් දිනූෂ, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), කේශර නුවන්ත, ප්‍රභාත් ජයසූරිය, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar