slc
logo
Home   |    News
අගෝස්තු 14, 2026
ගාල්ලේ 50 වැනි ටෙස්ට් සටනේදී ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් දැඩි අභියෝගයක්

sinhala editor

ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (15) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන්නේ, දෙරටටම ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය කරා යන ගමනේ වැදගත් තරගයක් ලෙසිනි. මෑත ටෙස්ට් තරගාවලිවලදී බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වූ ඉන්දියාවට යළි ජයග්‍රාහී මාවතට පිවිසීමේ අභියෝගයක් ඇති අතර, සීමිත ටෙස්ට් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකාවට ප්‍රබල ඉන්දීය කණ්ඩායමක් තම මව්බිමේදී අභියෝගයට ලක් කිරීමේ වැදගත් අවස්ථාවක් උදාවී තිබේ.

මෙම තරගයට ඉතිහාසගත විශේෂත්වයක්ද එක්වී තිබේ. ඉන්දියාව සිය 600 වැනි ටෙස්ට් තරගයට සහභාගී වන අතර, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ටෙස්ට් තරග 50ක් පැවැත්වූ ආසියාවේ පළමු ක්‍රීඩාංගණය බවට පත්වීමට නියමිතය. ඒ අනුව හෙට තරගය දෙරටේ වර්තමාන ටෙස්ට් ගමනට මෙන්ම ගාල්ල ක්‍රීඩාංගණයේ ඉතිහාසයටද එක්වන සුවිශේෂී තරගයක් වනු ඇත.

වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේදී ඉන්දියාව දැක්වූ ආධිපත්‍යයට සාපේක්ෂව මෙවර තරගාවලිය ආරම්භ වන්නේ වෙනස් පසුබිමකිනි. කණ්ඩායම් දෙකම යම් වෙනස්කම් සහ සංක්‍රාන්ති අවධියක් හරහා ගමන් කරමින් සිටින අතර, ඉන්දියාව සිය අවසන් ටෙස්ට් තරගාවලි දෙකම දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය හමුවේ පරාජයට පත්ව තිබේ. ශ්‍රී ලංකාවද මේ වන විට ටෙස්ට් තරග ක්‍රීඩා කරන්නේ පෙරට වඩා අඩු සංඛ්‍යාවකි.

ශ්‍රී ලංකාව සිය අවසන් ටෙස්ට් තරග පහේදී එක් ජයග්‍රහණයක්, පරාජයන් තුනක් සහ විසඳුමකින් තොර තරගයක් වාර්තා කර ඇති අතර, ඉන්දියාව එම කාලය තුළ ජයග්‍රහණ දෙකක් සහ පරාජයන් දෙකක් සමඟ තවත් එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් කර තිබේ. එබැවින් දෙපිලම මෙම තරගාවලියට පිවිසෙන්නේ ජයග්‍රහණයක් හරහා සිය ටෙස්ට් ගමනට නව ජවයක් ලබාගැනීමේ අපේක්ෂාවෙනි.

සාමාන්‍යයෙන් දඟ පන්දු යවන්නන්ට විශාල සහයක් ලබාදෙන ගාල්ල තණතීරුව මෙවර එතරම් දඟ පන්දු යවන්නන්ට වාසිදායක නොවනු ඇති බව ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වාගේ අදහසයි. මෑත දිනවල පැවැති අධික වර්ෂාව හේතුවෙන් තණතීරුව සාමාන්‍ය පරිදි වියළීමට නොහැකි වී ඇති අතර, එහි තෙතමනය වැඩි වී තිබීම හේතුවෙන් තණතීරුවේ හැසිරීම පිළිබඳව නිශ්චිතව අනාවැකි පළ කිරීමද අසීරු වී තිබේ.

“මෙය අපි අතීතයේ ක්‍රීඩා කළ අනෙක් තණතීරුවලට වඩා තරමක් වෙනස්. මම හිතන්නේ මෙය පිතිකරුවන්ට හොඳ තණතීරුවක් වේවි. කාලගුණ තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය පරිදි තණතීරුව වියළීමට හැකි වී නැති නිසා එය කෙසේ හැසිරේදැයි නිශ්චිතව කියන්න අමාරුයි. නමුත් මම හිතන්නේ මෙය හොඳ පිතිකරණ තණතීරුවක්,” යනුවෙන් ධනංජය අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

ඒ අනුව පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායමට තරගයේ ආරම්භක අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීම වැදගත් වනු ඇත. ආරම්භක පන්දුවාරවල පන්දුවේ චලනයට සාර්ථකව මුහුණ දීමෙන් පසු පිතිකරුවන්ට වඩාත් පහසු තත්ත්වයක් උදාවිය හැකි බැවින්, පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව තරගයේ ගමන්මඟ තීරණය කරන ප්‍රධාන සාධකයක් වනු ඇත.

කෙසේ වෙතත්, තරගය පුරාම වර්ෂාවෙන් බාධා ඇතිවීමේ අවදානමක්ද පවතින බැවින් කාලගුණ තත්ත්වය තරගයේ ප්‍රතිඵලයට බලපාන තවත් වැදගත් සාධකයක් වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ ප්‍රධාන අවධානය යොමුවී ඇත්තේ ප්‍රභාත් ජයසූරිය වෙතය. මෙම දශකයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගෙන ඇති ජයසූරිය ගාල්ලේදීද සුවිශේෂී දස්කම් දක්වා ඇති බැවින්, ඔහුගේ දඟ පන්දු යැවීම තරගයේදී ශ්‍රී ලංකාවට තීරණාත්මක සාධකයක් විය හැකිය.

ඉන්දියානු කණ්ඩායමේ දඟ පන්දු බලඇණියේ ප්‍රධාන වගකීම මේ වන විට රවීන්ද්‍ර ජඩේජා වෙත පැවරී තිබේ. රවිචන්ද්‍රන් අශ්වින් විශ්‍රාම ගැනීමෙන් පසුවත්, ජස්ප්‍රිත් බුම්රා ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලියට එක් නොවීමත් නිසා ඉන්දියාවේ පන්දු යැවීමේ බලඇණියට ජඩේජාගෙන් විශාල දායකත්වයක් අවශ්‍ය වනු ඇත. ඔහු සමඟ කුල්දීප් යාදව් සහ මානව් සුතර් ඇතුළත් දඟ පන්දු සංයෝජනයක් ඉන්දියාවෙන් දැකගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කැපී පෙනෙන වෙනසක් වන්නේ නිරෝෂන් දික්වැල්ල යළි ටෙස්ට් කණ්ඩායමට පැමිණීමයි. 2023 වසරෙන් පසුව ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර නොමැති දික්වැල්ල, කුසල් මෙන්ඩිස් නොමැති වීමත් සමඟ කඩුලු රැකීමේ වගකීම භාර ගැනීමට සූදානමින් සිටී. විශේෂඥ කඩුලු රකින්නෙකු වෙනත් අයෙකු සංචිතයට ඇතුළත් කර නොමැති බැවින්, දික්වැල්ල හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතී.

“ගාල්ලේදී ක්‍රීඩා කරන විට වඩාත් වැදගත් දෙය වන්නේ හොඳම කඩුලු රැකීමේ හැකියාව ඇති ක්‍රීඩකයා ක්‍රීඩා කිරීමයි,” යනුවෙන් ධනංජය පැවසීය.

කුසල් මෙන්ඩිස් පසුගිය කාලයේ අංක 7 ස්ථානයේ පිතිකරණය කරමින් කඩුලු රැකීමේ වගකීමද ඉටු කළ බැවින් දික්වැල්ලට යළි ටෙස්ට් කණ්ඩායමට පැමිණීමට අවස්ථාවක් නොලැබුණු බවද ධනංජය සඳහන් කළේය. කෙසේ වෙතත්, මේ අවස්ථාවේදී ගාල්ලේ කඩුලු රැකීමේ හැකියාවට විශේෂ වැදගත්කමක් ලබාදෙමින් දික්වැල්ල තෝරා ගැනීමට කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කර තිබේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ වේග පන්දු බලඇණියේ ලහිරු කුමාරගේ වේගයද ඉන්දියාවට එරෙහි තරගාවලියේදී වැදගත් සාධකයක් වනු ඇත. බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ පළමු ටෙස්ට් තරගයේදී එක් පන්දුවාරයක් පමණක් යවා මස්පිඬු ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගයෙන් ඉවත් වූ ලහිරු යළි සංචිතයට පැමිණ සිටී.

ඔහුගේ ආබාධ ඉතිහාසය සම්බන්ධයෙන් යම් අවධානයක් යොමුව තිබුණද, මේ වන විට රතු පන්දුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ වේගවත්ම පන්දු යවන්නා ලෙස ලහිරු කුමාරට කණ්ඩායමේ විශේෂ ස්ථානයක් හිමිවන බව ධනංජය පෙන්වා දුන්නේය.

“රටක් සහ කණ්ඩායමක් ලෙස අපට විශාල ක්‍රීඩක සංචිතයක් නැහැ. ඒ නිසා අපට අත්හදා බැලීම් කිරීමට තිබෙන අවස්ථා සීමිතයි. මේ වන විට ලහිරු කුමාර වෙනුවට සංචිතයට ගත හැකි ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකාවේ නැහැ,” යනුවෙන් ධනංජය පැවසීය.

“ඔහු රතු පන්දුවේ ක්‍රිකට් ක්‍රීඩා කරන අපේ වේගවත්ම පන්දු යවන්නා. අවාසනාවකට බටහිර ඉන්දීය කොදෙව්වලදී ඔහු ආබාධයකට ලක්වුණා. එම තරගාවලිය අපට ජයගත හැකි අවස්ථාවක් තිබුණත් අවසානයේ එය 1-0ක් ලෙස පරාජයට පත්වුණා. ඔහු එය අභිප්‍රේරණයක් කරගෙන මෙම තරගාවලියේදී අප වෙනුවෙන් විශාල දස්කමක් දක්වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

2017 වසරේ අවසන් වරට ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලියකට සහභාගී වූ ඉන්දියාව එහිදී ප්‍රබල දස්කම් දැක්වූ නමුත්, වසර නවයකට පමණ පසුව දෙපිල යළි හමුවන මෙම තරගාවලිය නව පසුබිමකින් ආරම්භ වේ. ගාල්ලේ තණතීරුවේ හැසිරීම, කාලගුණ තත්ත්වය, දඟ පන්දු යවන්නන්ගේ දස්කම්, ආරම්භක පන්දුවාරවල පන්දු යවන්නන්ට ලැබෙන සහය සහ පිතිකරුවන්ගේ ඉවසීම හෙට තරගයේ තීරණයට බලපාන ප්‍රධාන කරුණු වනු ඇත.

මෙම ටෙස්ට් තරගය ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදී තිබේ. ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනාට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණ තරගය සජීවීව නැරඹීමට හැකි වන අතරම ශ්‍රී ලංකා කණ්ඩායමට සහයෝගය ලබා දීමේ හැකියාවද ඇත.හෙට තරගයට ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කළ හැකි ක්‍රීඩකයින් මෙසේය.

ශ්‍රී ලංකාව : 1. ලහිරු ඉගලගමගේ, 2. නිශාන් ප්‍රනාන්දු, 3. දිනේෂ් චන්දිමාල්, 4. කමිඳු මෙන්ඩිස්, 5. ධනංජය ද සිල්වා (නායක), 6. නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), 7. සොනාල් දිනූෂ, 8. ප්‍රභාත් ජයසූරිය, 9. රමේෂ් මෙන්ඩිස්, 10. අසිත ප්‍රනාන්දු, 11. ලහිරු කුමාර.

ඉන්දියාව : 1. කේ. එල්. රාහුල්, 2. යෂස්වි ජයිස්වාල්, 3. දේව්දත් පඩික්කල්, 4. ශුබ්මන් ගිල් (නායක), 5. රිෂාබ් පාන්ට් (කඩුලු රකින්නා), 6. ධෘව් ජුරෙල්, 7. රවීන්ද්‍ර ජඩේජා, 8. මනව් සුතර්, 9. කුල්දීප් යාදව්, 10. මොහොමඩ් සිරාජ්, 11. ප්‍රසිද් ක්‍රිෂ්ණා.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee