slc
logo
Home   |    News
අගෝස්තු 16, 2026
පඩික්කාල්ගේ විශිෂ්ට ඉනිම මැද ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගෙන් ප්‍රබල ප්‍රතිප්‍රහාරයක්

sinhala editor

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා–ඉන්දියා පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී ආරම්භ වුවද, ශ්‍රී ලංකා පන්දු යවන්නන් දිනයේදී ඉන්දීය පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එල්ල කිරීමට අද (16 දා) සමත් වූහ. පළමු දිනය අවසානයේ කඩුලු 2කට ලකුණු 288ක් ලබා සිටි ඉන්දියාව, දෙවැනි දිනයේදී කඩුලු 7ක් අහිමි කර ගනිමින් තවත් ලකුණු 172ක් පමණක් එක් කළ අතර, දිනය අවසානයේ කඩුලු 9කට ලකුණු 460ක් ලබා සිටියේය.

පළමු දිනයේ නොදැවී ලකුණු 131ක් ලබා සිටි දෙව්දත් පඩික්කල් අද දිනයේදීද ඉන්දීය ඉනිමේ ප්‍රධානතම පිතිකරු බවට පත්වෙමින් පන්දු 215කදී ලකුණු 150 සීමාව පසු කළ අතර, අවසානයේ ලකුණු 167කට දැවී ගියේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 16ක් සහ හයේ පහරක් ඇතුළත් විය. කෙසේ වෙතත්, පඩික්කල් සිය දැවැන්ත ඉනිම ගොඩනඟමින් සිටියදී ශ්‍රී ලංකාව වැදගත් කඩුලු කිහිපයක් දවාගනිමින් තරගයට නැවත පැමිණීමට සමත් විය.

පළමු දිනය අවසානයේ ලකුණු 39ක් ලබා නොදැවී සිටි රිෂාබ් පාන්ට්, කේෂර නුවන්තගේ පන්දුවකට ඉහළින් පහරක් එල්ල කිරීමට ගත් උත්සාහයේදී සොනාල් දිනූෂ විසින් විශිෂ්ට ලෙස උඩපන්දුවක් රැක ගැනීමත් සමඟ දැවී ගියේය.

ඉන් අනතුරුව පිටියට පැමිණි කේ.එල්. රාහුල්ටද ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගෙන් එල්ල වූ අභියෝගය ජය ගැනීමට නොහැකි විය. පළමු දිනයේදී ලකුණු 77ක් ලබා සිටියදී මස්පිඬු ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ රාහුල්, දෙවැනි දිනයේදී තවත් ලකුණු 4ක් පමණක් එක් කරමින් නුවන්තගේ පන්දුවකට නිශාන් මධුෂ්ක අතට පහසු උඩපන්දුවක් ලබා දී දැවී ගියේය. එය නුවන්තගේ දෙවැනි කඩුල්ල ලෙසින් සටහන් විය. එම කඩුලු දෙක ලකුණු 12ක් ඇතුළත දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වීමත් සමඟ ඉන්දීය ඉනිමට යම් පීඩනයක් එල්ල විය.

කෙසේ වෙතත්, තේ විවේකයට මොහොතකට පෙර ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකාවට තවත් වැදගත් කඩුල්ලක් ලබා දුන්නේය. ජයසූරියගේ පන්දුවේ පියාසරය නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි වූ පඩික්කල් ඉදිරියට පැමිණ පහරක් එල්ල කිරීමට උත්සාහ කළ අතර, නිරෝෂන් දික්වැල්ල විසින් ඔහුව ස්ටම්ප් කර දැවීය.

පඩික්කල්ගේ ලකුණු 167 ඉනිම ඉන්දියාවට විශාල වාසියක් ලබා දුන්නද, ඔහුගේ කඩුල්ල දවා ගැනීම ශ්‍රී ලංකාවට දිනයේ තවත් වැදගත් සාර්ථකත්වයක් විය. තේ විවේකයෙන් අනතුරුව රවීන්ද්‍ර ජඩේජාද කේෂර නුවන්තගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු 13කට දැවී ගියේය. එමඟින් ඉන්දියාව කඩුලු 6කට ලකුණු 377ක් බවට පත්විය.

ඉන් අනතුරුව ධෘව් ජුරෙල් සහ මානව් සුතර් එක්ව ඉන්දීය ඉනිම යළි ශක්තිමත් කිරීමට උත්සාහ කළහ. ජුරෙල් ලකුණු 53ක් ලබා ගනිමින් කලකට පසුව අර්ධ ශතකයක් වාර්තා කළ අතර, ඔහු සහ සුතර් හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55ක සබඳතාවක් ගොඩනැගූහ. කෙසේ වෙතත්, ජුරෙල්ගේ ඉනිමද ප්‍රභාත් ජයසූරියගේ පන්දුවකට ධනංජය ද සිල්වා විසින් පළමු ස්ලිප්හිදී විශිෂ්ට ලෙස රැකගත් උඩපන්දුවක් සමඟ අවසන් විය.

අවසන් අදියරේදී ඉන්දීය පහළ පෙළේ පිතිකරුවන්ගෙන්ද ලකුණු එක්වීම හේතුවෙන් ඉන්දියාව ලකුණු 460 සීමාව පසු කිරීමට සමත් විය. මොහොමඩ් සිරාජ් සහ මානව් සුතර්ද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට යම් පීඩනයක් එල්ල කරමින් වටිනා ලකුණු එක් කළහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් සාර්ථකම පන්දු යවන්නා වූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 4 ක් සහ කේෂර නුවන්ත කඩුලු 3 ක් බැගින් බිඳ හෙළූ අතර අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලකට හිමිකම් කීවේය. ළහිරු කුමාරට කඩුලු දවා ගැනීමට නොහැකිවිය.

දෙවැනි දිනයේ තරගය ආරම්භ වීමටද වර්ෂාව හේතුවෙන් දැඩි බාධා එල්ල වූ අතර, තරගය ආරම්භ වූයේ පස්වරු 2.35ට පමණය.

ලකුණු සාරාංශය

ඉන්දියාව පන්දුවාර 116 කදී කඩුලු 9කට ලකුණු 460 යි – (දෙව්දත් පඩික්කල් 167, ධෘව් ජුරෙල් 53, කේ.එල්. රාහුල් 81, රිෂාබ් පාන්ට් 39, යෂස්වි ජයිස්වාල් 32, ශුබ්මන් ගිල් 16, රවීන්ද්‍ර ජඩේජා 13, මානව් සුතර් 24, මොහොමඩ් ශිරාජ් 11, කුල්දීප් යාදව් 12*, ප්‍රසිද් ක්‍රිෂ්ණා 01*, ප්‍රභාත් ජයසූරිය 109/4, කේෂර නුවන්ත 175/3, අසිත ප්‍රනාන්දු 61/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar