ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI සහ ඉන්දියාව අතර කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ දෙවැනි දිනය නිමාවන විට ඉන්දියාව කඩුලු 9කට ලකුණු 357ක් රැස්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI පළමු ඉනිමේ ලකුණු 363ට වඩා ලකුණු 6ක් පමණක් පසුපසින් සිටියේය.
ඉන්දීය ඉනිමේ ප්‍රධානතම කාර්යභාරය ඉටු කළේ දේව්දුත් පඩික්කල්ය. පන්දු 164කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 142ක් රැස් කළ ඔහු, දඟ පන්දු යවන්නන්ට සහාය වූ තණතීරුවක ඉතා පාලනයකින් යුතුව පිතිකරණයේ නිරත විය.
පඩික්කල්ගේ විශේෂත්වය වූයේ ශතකය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව විශ්‍රාම ගිය පිතිකරුවෙකු ලෙස පිටියෙන් ඉවත්වීමයි. පසුව කඩුලු කිහිපයක් බිඳ වැටීමෙන් අනතුරුව යළි පිටියට පැමිණි ඔහු දිනය අවසන් වන තුරුම නොදැවී සිටිමින් ලකුණු 142 දක්වා සිය ඉනිම ඉහළ නැංවීය.
පඩික්කල් සහ කේ.එල්. රාහුල් අතර ලකුණු 96ක සම්බන්ධතාවක් ගොඩනැගුණු අතර, රාහුල් ලකුණු 40කට දැවී ගියේ කේසර නුවන්තාගේ පන්දුවක් අනපේක්ෂිත ලෙස දඟ කැවී කඩුල්ලේ වැදීමෙනි.
අනතුරුව පඩික්කල් සමඟ එක්වූ රවීන්ද්‍ර ජඩේජා ලකුණු 72ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළේය. ජඩේජා පන්දු 117කින් ලකුණු 63ක් රැස් කළ අතර, පසුව ඔහුද විශ්‍රාම ගිය පිතිකරුවෙකු ලෙස පිටියෙන් ඉවත් විය.
ඉන්දීය ප්‍රධාන පිතිකරුවන් අතර යශස්වි ජයස්වාල්, රිෂාබ් පන්ට් සහ ධෘව් ජුරෙල්ට දිගු ඉනිම් ගොඩනැගීමට අවස්ථාවක් නොලැබුණි. විශේෂයෙන් ජුරෙල්ගේ දැවී යාම කැපී පෙනුණු අතර, ඔහුගේ ආරක්ෂාකාරී පහර ෂෝට් ලෙග්හි පන්දු රකිමින් සිටි නිපුන් ධනංජයගේ උරහිසේ වැදී යළි ඉහළට ඉපිල ගිය පන්දුව නිපුන් විසින්ම රැකගනු ලැබීය.
අවසන් සැසියේදී යළි පිටියට පැමිණි පඩික්කල් – ජයින් සමඟ ලකුණු 83ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනඟමින් ඉන්දීය ඉනිම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI ලකුණු සංඛ්‍යාව ආසන්නයට රැගෙන ආවේය.
දිනය අවසන් කළේ ගුර්නූර් බ්‍රාර්ගේ ප්‍රහාරයයි. පන්දු 18කින් නොදැවී ලකුණු 36ක් රැස් කළ ඔහු අවසන් පන්දුවාරයේදී දිලුම් සුදීරට එරෙහිව පිට පිට දැවැන්ත හයේ පහර තුනක් එල්ල කරමින් ඉන්දියාව ලකුණු 357 දක්වා රැගෙන ගියේය.
ඒ අනුව පඩික්කල් ලකුණු 142ක්ද ගුර්නූර් බ්‍රාර් ලකුණු 36 ක්ද ලබා සිටියදී දෙවැනි දිනය අවසන් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI කණ්ඩායම පළමු දිනයේදී කඩුලු 8කට ලකුණු 363ක් ලබා සිය ඉනිම ප්‍රකාශයට පත් කළේය. දඟ පන්දු යවන්නන්ට සහාය වූ තණතීරුවක ඉන්දීය පිතිකරුවන් පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හොඳ අවස්ථාවක් හිමි වූ අතර, කෙටි වර්ෂාවක් හේතුවෙන් දෙවැනි දිනයේ මිනිත්තු 30කට ආසන්න කාලයක් ක්‍රීඩා කිරීම අහිමි විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් XI – 363/8 (90.1 Ov)
නිශාන් ප්‍රනාන්දු 66 (65), රවින්දු රෂාන්ත 71 (143), පසිඳු සූරියබණ්ඩාර 30 (45), පවන් රත්නායක 27 (46), අහන් වික්‍රමසිංහ 24 (44), අංජල බණ්ඩාර 14 (35), රමේෂ් මෙන්ඩිස් 31 (44), සෝනල් දිනූෂ 52 (72), දිලුම් සුදීර නොදැවී 1, කේසර නුවන්ති නොදැවී 9, මනව් සුතාර් 33/2, රවීන්ද්‍ර ජඩේජා 64/2, කුල්දීප් යාදව් 76/2, ගුර්නූර් බ්‍රාර් 45/1
ඉන්දියාව – පළමු ඉනිම 357/8 (පන්දුවාර 90)
දේව්දුත් පඩික්කල් – 142* (164), රවීන්ද්‍ර ජඩේජා – 63 (117), මනව් සුතර් – 41 (90), කේ.එල්. රාහුල් – 40 (67), ගුර්නූර් බ්‍රාර් – 36* (18), රමේෂ් මෙන්ඩිස් – 77/2, අසංක මනෝජ් – 32/2






