slc
logo
Home   |    News
අගෝස්තු 19, 2026
ලකුණු 165ක ජයක් ලද ඉන්දියානුවෝ ටෙස්ට් තරගාවලියේ පෙරට

sinhala editor

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන්ගෙන් ධෛර්යවන්ත ලෙසින් පන්දුවට පහර දුන්නද ඒ සියල්ල පසෙකලා ලකුණු 165ක ජයක් අත්කර ගැනීමට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායව අද (19 දා) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 372ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 206කට දැවී ගිය අතර, අවසන් කඩුලු හතරම පන්දු 10ක් ඇතුළත බිඳ දැමූ මනව් සුතාර් ඉන්දීය ජයග්‍රහණය ඉක්මන් කළේය.

අවසන් දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව කඩුලු 4කට ලකුණු 84ක් ලබා සිටි අතර, ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 288ක් අවශ්‍යව තිබිණි. රාත්‍රියේ නොදැවී සිටි සොනාල් දිනූෂ සහ ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ඉනිමට යම් බලාපොරොත්තුවක් එක් කරමින් ඉන්දීය පන්දු යවන්නන්ට දිගු වේලාවක් සාර්ථකව මුහුණ දුන්හ.

දිනූෂ ලකුණු 84ක් රැස් කරමින් දෙවැනි ටෙස්ට් ශතකය ලබා ගැනීමට ලකුණු 16ක් පමණක් පසුපසින් සිටියදී දැවී ගිය අතර, ධනංජය ද සිල්වා ලකුණු 52ක් ලබා ගත්තේය ඔවුන් දෙදෙනාගේ සාර්ථක සම්බන්ධතාව හේතුවෙන් ඉන්දියාවට ශ්‍රී ලංකාවේ කඩුලු දවා ගැනීම දිවා විවේකය දක්වාම ප්‍රමාද කිරීමට සිදුවිය.

ධනංජය ද සිල්වාගේ කඩුල්ල රවීන්ද්‍ර ජඩේජා විසින් දවා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ඉනිම වේගයෙන් බිඳ වැටුණි. නිරෝෂන් දික්වැල්ලටද ඉනිම දිගු කිරීමට නොහැකි වූ අතර, ප්‍රසිද් ක්‍රිෂ්ණගේ කෙටි පන්දුවකට පහරක් එල්ල කිරීමේදී කඩුලු රකින්නා වෙත උඩ පන්දුවක් ලබා දෙමින් ඔහු දැවී ගියේය.

දිගු කාලයක් පුරා ඉන්දියාව ශ්‍රී ලංකා ලකුණු වේගය පාලනය කරමින්, දෙවැනි නව පන්දුව ලබාගත් පසු තරගය අවසන් කිරීමේ සැලසුමක සිටියේය. එහෙත් 76 වැනි පන්දුවාරයේදී දිනූෂ දවා ගැනීමෙන් පසු මනව් සුතාර් ශ්‍රී ලංකා ඉනිමේ ඉතිරි කඩුලු හතරම පන්දු 10ක් ඇතුළත දවා ගනිමින් ඉන්දීය ජයග්‍රහණය තහවුරු කළේය. ඒ සමඟ තරග දෙකකදී ඔහු ලබාගත් දෙවැනි කඩුලු පහේ දස්කමද සම්පූර්ණ වූ අතර, ඉන්දියාවට නව පන්දුවේ අවශ්‍යතාවක් පවා ඇති නොවීය.

ශ්‍රී ලංකා පිතිකරුවන්ට විශාල දඟ කැවීමක් අපේක්ෂා කළ අවස්ථාවලදී පන්දුවේ දඟ කැවීම වෙනස් කරමින් වේගයෙන් පන්දු යැවීම සුතාර්ගේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් විය. අවසන් කඩුල්ල ලෙස කේෂර නුවන්තද සුතාර්ගේ පන්දුවකට දැවී ගිය අතර, ඒ වන විට නව පන්දුව ලබාගැනීමට තවත් පන්දුවාර 2.2ක් පමණක් ඉතිරිව තිබිණි.

ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමීමේදී සුතාර්ට අමතරව රවීන්ද්‍ර ජඩේජාද වැදගත් දායකත්වයක් ලබාදුන් අතර, ඉන්දීය වේග පන්දු යවන්නෝද තරගය පුරාම හොඳ පාලනයකින් පන්දු යැවූහ.

මෙම ජයග්‍රහණය ඉන්දියාවට විශේෂ වැදගත්කමක් ගෙන දෙන්නේ දඟ පන්දු යවන්නන්ට හිතකර තත්ත්වයන් යටතේ මෑත ටෙස්ට් තරගාවලි කිහිපයකදී ලැබූ පරාජයන්ගෙන් පසුව එය හිමිවීම හේතුවෙනි.

ඉන්දියාව පළමු ඉනිම පන්දුවාර 116/4 කදී සියලුදෙනා දැවී ලකුණු 464 යි – (දෙව්දත් පඩික්කල් 167, ධෘව් ජුරෙල් 53, කේ.එල්. රාහුල් 81, රිෂාබ් පාන්ට් 39, යෂස්වි ජයිස්වාල් 32, ශුබ්මන් ගිල් 16, රවීන්ද්‍ර ජඩේජා 13, මානව් සුතර් 24, මොහොමඩ් ශිරාජ් 11, කුල්දීප් යාදව් 13*, ප්‍රසිද් ක්‍රිෂ්ණා 01, ප්‍රභාත් ජයසූරිය 109/4, කේෂර නුවන්ත 175/3, අසිත ප්‍රනාන්දු 63/2)

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 79.4 කදී සියලු දෙනා දැවී ලකුණු 284 යි – (සොනාල් දිනූෂ 100, නිරෝෂන් දික්වැල්ල 80, ළහිරු උදාර 27, නිශාන් මදුෂ්ක 00, දිනේෂ් චන්දිමාල් 04 කමිඳු මෙන්ඩිස් 14, ධනංජය ද සිල්වා 21, කේෂර නුවන්ත 02, ප්‍රභාත් ජයසූරිය 10, ළහිරු කුමාර 10, අසිත ප්‍රනාන්දු 00*, මානව් සුතාර් 76/4, රවීන්ද්‍ර ජඩේජා 57/3, මොහොමඩ් සිරාජ් 29/1, ප්‍රසිද් ක්‍රිෂ්ණා 47/1, කුල්දීප් යාදව් 65/1)

ඉන්දියාව දෙවැනි ඉනිම පන්දුවාර 48.5 කදී සියලු දෙනා දැවී ලකුණු 193 යි – (රිෂාබ් පාන්ට් 66, යශස්වි ජයිස්වාල් 00, කේ.එල්. රාහුල් 35, දෙව්දත් පඩික්කාල් 44, ශුබ්මන් ගිල් 08, ධෘව් ජුරෙල් 07, රවීන්ද්‍ර ජඩේජා 09, මානව් සුතර් 09, කුල්දීප් යාදව් 05, මොහොමඩ් සිරාජ් 02*, ප්‍රසිද් ක්‍රිෂ්ණා 02, අසිත ප්‍රනාන්දු 31/4, ප්‍රභාත් ජයසූරිය 43/3, ළහිරු කුමාර 28/2, කේශර නුවන්ත 86/1)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 77.4 කදී සියලු දෙනා දැවී ලකුණු 206 යි – (සොනාල් දිනූෂ 84, ධනංජය ද සිල්වා 59, නිශාන් මදුශ්ක 06, ළහිරු උදාර 16, පසිඳු සූරියබණ්ඩාර 00, කමිඳු මෙන්ඩිස් 02, නිරෝෂන් දික්වැල්ල 10, කේෂර නුවන්ත 20, ප්‍රභාත් ජයසූරිය 00, ළහිරු කුමාර 00, අසිත ප්‍රනාන්දු 00*, මානව් සුතාර් 55/6, ප්‍රසිද් ක්‍රිෂ්ණා 16/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar