ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දින තරග අද පැවැති අතර, එහිදී මහනුවර සහ කොළඹ දකුණ කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළහ. තරගාවලියේ ඉදිරියේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අවශ්‍ය දක්ෂතා සහිත ක්‍රීඩකයින් හඳුනා ගැනීමේ අරමුණින් මෙම තරගාවලිය පැවැත්වේ.
දෙවැනි දිනයේ වැඩිම අවධානය දිනාගත් දස්කම වාර්තා කළේ මහනුවර කණ්ඩායමේ දකුණත් පිට දඟ පන්දු යවන ශෂිත් බණ්ඩාර විසිනි. කොළඹ උතුරු කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 22කට කඩුලු 5ක් දවාගත් ශෂිත්, එහිදී කඩුලු ත්‍රිත්වයක්ද සම්පූර්ණ කරමින් තරගාවලි ඉතිහාසයේ විශිෂ්ට දස්කමක් සටහන් කළේය.
කොළඹ උතුරු ඉනිමේ 14 වැනි පන්දුවාරය යැවූ ශෂිත් එහි සිව්වැනි, පස්වැනි සහ හයවැනි පන්දු තුනේදීම පිට පිට කඩුලු දවා ගනිමින් මෙම කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළේය. එහිදී ෂෙනෝන් සිල්වා, හෆීස් ජුන්කීර් සහ අකීද් ඔසේන් පිළිවෙළින් ඔහුගේ ගොදුරු බවට පත්වූහ.
අනතුරුව තවත් කඩුලු දෙකක් දවාගත් ශෂිත්, පන්දුවාර 9.4කදී ලකුණු 22කට කඩුලු 5ක් දවාගනිමින් මහනුවර ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය බවට පත්විය.
ධර්මරාජ විද්‍යාලය නියෝජනය කරන ශෂිත් බණ්ඩාර අම්පිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ ක්‍රීඩකයෙකි. ඔහුගේ මෙම දස්කම මෙවර ශ්‍රී ලංකා යූත් ලීග් තරගාවලියේදී පන්දු යවන්නකු කඩුලු 5ක් දවාගත් පළමු අවස්ථාව මෙන්ම කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ පළමු අවස්ථාව ලෙසද සටහන් විය.
ශෂිත්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් මහනුවර කණ්ඩායමට කොළඹ උතුර ලකුණු 66කින් පරාජය කිරීමට හැකි වූ අතර, එය කොළඹ උතුරු කණ්ඩායම අඛණ්ඩව ලැබූ දෙවැනි පරාජය විය.
පළමුව පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම පන්දුවාර 45.1කදී සියලු දෙනා දැවී ලකුණු 203ක් රැස් කළේය. ශෂිත් බණ්ඩාර පන්දුවෙන් පමණක් නොව පිත්තෙන්ද දස්කම් දක්වමින් ලකුණු 47ක් රැස් කළ අතර, යෙනුල හේවාවිතාරණ ලකුණු 42ක් සහ ශම්මා ප්‍රනාන්දු ලකුණු 33ක් ලබා ගත්හ.
ලකුණු 204ක ඉලක්කයක් හඹා ගිය කොළඹ උතුරු කණ්ඩායමට පන්දුවාර 36.4කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 137ක් පමණි.
කොළඹ දකුණට අඛණ්ඩ දෙවැනි ජය
මේ අතර දඹුල්ල කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කොළඹ දකුණ කණ්ඩායම ලකුණු 189ක දැවැන්ත ජයක් වාර්තා කළේය. ඒ අනුව කොළඹ දකුණ කණ්ඩායම තරගාවලියේ අඛණ්ඩව ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය විය.
පළමුව පන්දුවට පහර දුන් කොළඹ දකුණ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 294ක් රැස් කළේය. එහිදී ස්ටීවොන් පීරිස් ලකුණු 86ක් සහ මෙතුක ගුණරත්න ලකුණු 67ක් රැස් කරමින් විශිෂ්ට පිතිහරඹයක නිරත වූහ. මහිරු කොඩිතුවක්කු ලකුණු 65ක්ද ලබා ගත්තේය.
ලකුණු 295ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 29කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 105ක් පමණි.
කොළඹ දකුණ පන්දු යවන්නන් අතරින් තාරුක සමින්ජිත ලකුණු 11කට කඩුලු 3ක් දවාගත් අතර, මහිරු කොඩිතුවක්කු ලකුණු 32කට කඩුලු 2ක් සහ අදීෂ ලක්ෂාන් ලකුණු 8කට කඩුලු 2ක් දවා ගනිමින් දඹුල්ල ඉනිම අඩපණ කළහ.
මහනුවරට ලකුණු 66ක ජයක්
මහනුවර – සියලු දෙනා දැවී ලකුණු 203 (පන්දුවාර 45.1): ශෂිත් බණ්ඩාර 47, යෙනුල හේවාවිතාරණ 42, ශම්මා ප්‍රනාන්දු 33, ගෝපිරාජ් සංතෝෂ් 27, මන්දිල් ගුණවර්ධන 21; ශම්මා ප්‍රනාන්දු 33/3, මොවිඳු සෙනාල් 24/2, කෙලුණු තශ්මික 43/2.
කොළඹ උතුර – සියලු දෙනා දැවී ලකුණු 137 (පන්දුවාර 36.4): ෂෙනෝන් සිල්වා 29, හිමිර කුඩගම නොදැවී 21, මොවිඳු සෙනාල් 19, ශම්මා ප්‍රනාන්දු 16, ගෙවින් සදෙස් 10; ශෂිත් බණ්ඩාර 22/5, චනුල් කොඩිතුවක්කු 17/2.
කොළඹ දකුණට ලකුණු 189ක ජයක්
කොළඹ දකුණ – කඩුලු 8ක් දැවී ලකුණු 294 (පන්දුවාර 50): ස්ටීවොන් පීරිස් 86, මෙතුක ගුණරත්න 67, මහිරු කොඩිතුවක්කු 65, රෙෂාන් සොලමන්ස් 36, චෙනුක දොඩන්ගොඩ 26; අමල් පෙරේරා 45/3, චමෝද් ප්‍රභාෂ 38/2, කලින්දු සචින්තන 60/2.
දඹුල්ල – සියලු දෙනා දැවී ලකුණු 105 (පන්දුවාර 29): දහම් සෙනෙවිරත්න 17, අමල් පෙරේරා 17, චමෝද් ප්‍රභාෂ 16, කලින්දු සචින්තන 21, මරලිදරන් අනිෂ් 12; තාරුක සමින්ජිත 11/3, මහිරු කොඩිතුවක්කු 32/2, අදීෂ ලක්ෂාන් 8/2.



