ඉන්දීය පන්දු බලඇණියට දැඩි පීඩනයක් එල්ල කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිතිකරුවෝ, ඉන්දියාවට එරෙහි එකම සංචාරක පුහුණු තරගයේ පළමු දිනයේදී පන්දුවාරයකට ලකුණු 4.03ක වේගයකින් ලකුණු රැස් කරමින් ශක්තිමත් ඉනිමක් ගොඩනැගූහ. කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 363ක් රැස් කරගෙන සිටි අතර, ආරම්භක පිතිකරුවන් ගොඩනැගූ ලකුණු 110ක සබඳතාව සහ මැද පෙළ පිතිකරුවන්ගේ වැදගත් දායකත්වය හේතුවෙන් ඉන්දීය පන්දු යවන්නන්ට දිනය පුරාම දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවිය.
ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ආක්‍රමණශීලී ප්‍රවේශය ඉනිම පුරාම කැපී පෙනුණු අතර, ඔවුන් හතරේ පහර 47ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 200ක් සීමා පහරවලින් ලබා ගැනීමට සමත් වූහ. එය ශ්‍රී ලංකා ඉනිමේ සමස්ත ලකුණු සංඛ්‍යාවෙන් සියයට 55කට ආසන්න ප්රමාණයකි.
රවින්දු රෂාන්ත ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර, පන්දු 143කට මුහුණ දෙමින් ලකුණු 71ක් රැස් කළේය. ඔහුට අමතරව නිශාන් ප්‍රනාන්දු පන්දු 65කදී ලකුණු 66ක් ලබා ගනිමින් වේගවත් ආරම්භයක් ලබා දුන් අතර, නායක සෝනල් දිනූෂ ලකුණු 52ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළේය.
තරගයේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ඉන්දීය වේග පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දුන් අතර, නිශාන් ප්‍රනාන්දුගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා ලකුණු වේගය ඉහළ මට්ටමක පැවතුණි. කෙසේ වෙතත්, ලකුණු 110ක ආරම්භක සබඳතාව බිඳ වැටුණේ අවාසනාවන්ත දුවද්දී දැවී යාමකිනි.
එක් අවස්ථාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම කඩුල්ලක් පමණක් දැවී ලකුණු 171ක් ලබා ප්‍රබල ස්ථානයක සිටියද, මැද පෙළේ කඩුලු කිහිපයක් ඉක්මනින් දැවී යාම හේතුවෙන් ලකුණු 246කට කඩුලු 4ක් අහිමි කර ගත්තේය.
ඉන්දීය දඟ පන්දු බලඇණිය අවසන් සැසියේදී තරගයට නැවත පැමිණීමට සමත් වූ අතර, කුල්දීප් යාදව්, රවීන්ද්‍ර ජඩේජා සහ මනව් සුතාර් කඩුලු දෙක බැගින් ලබා ගත්හ. ගුර්නූර් බ්‍රාර් එක් කඩුල්ලක් දවා ගත් අතර, මොහොමඩ් සිරාජ්, ප්‍රසිද් ක්‍රිෂ්ණා සහ සරන්ෂ් ජේන් කඩුලු ලබා ගැනීමට අපොහොසත් වූහ.
දිනය අවසානයේදී දිලුම් සුදීර ලකුණු 1ක් සහ කේසර නුවන්ති ලකුණු 9ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් XI – 363/8 (90.1 Ov)
නිශාන් ප්‍රනාන්දු 66 (65), රවින්දු රෂාන්ත 71 (143), පසිඳු සූරියබණ්ඩාර 30 (45), පවන් රත්නායක 27 (46), අහන් වික්‍රමසිංහ 24 (44), අංජල බණ්ඩාර 14 (35), රමේෂ් මෙන්ඩිස් 31 (44), සෝනල් දිනූෂ 52 (72), දිලුම් සුදීර නොදැවී 1, කේසර නුවන්ති නොදැවී 9, මනව් සුතාර් 33/2, රවීන්ද්‍ර ජඩේජා 64/2, කුල්දීප් යාදව් 76/2, ගුර්නූර් බ්‍රාර් 45/1






