ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (24 වැනිදා)පැවැති තරගවලදී සඳරු මල්ෂාන්ගේ විශිෂ්ට ශතකයත්, ශෂිත් බණ්ඩාරගේ කඩුලු 5ක විශිෂ්ට පන්දු යැවීමත් කැපී පෙනුණහ. එහිදී ගාල්ල කණ්ඩායම කොළඹ උතුරට එරෙහිව ලකුණු 12ක තියුණු ජයක් වාර්තා කළ අතර මහනුවර කණ්ඩායම දඹුල්ල පරාජය කළේ ලකුණු 133ක දැවැන්ත ජයක් සමඟිනි.
ගාල්ල වෙනුවෙන් එහි නායක සඳරු මල්ෂාන් පන්දු 100කදී හතරේ පහර 12ක් සමඟ ලකුණු 115ක් රැස් කරමින් අගනා ශතකයක් වාර්තා කළ අතර එය මෙවර තරගාවලියේ පිතිකරුවක වාර්තා කරන ලද පළමු ශතකය බවට පත්විය. දකුණතින් පිත්ත හසුරුවන සඳරු මල්ෂාන් රත්ගම දේවපතිරාජ විදුහල නියෝජනය කරන්නෙකි.
මහනුවර ජයග්‍රහණයේදී දකුණත් පිට දඟ පන්දු යවන ශෂිත් බණ්ඩාර පන්දුවාර 8.4කදී නිලකුණු පන්දුවාර 2ක් සමඟ ලකුණු 11කට කඩුලු 5ක් දවාගනිමින් දිනයේ විශිෂ්ටතම පන්දු යැවීම සටහන් කළේය.
විශේෂත්වය වන්නේ ධර්මරාජ විද්‍යාලය නියෝජනය කරන ශෂිත් බණ්ඩාර මීට පෙරද මෙම තරගාවලියේදී කඩුලු ත්‍රිත්වයක් ද සමගින් කඩුලු 5 ක් දවා ගැනීමට සමත්ව සිටීමයි. කොළඹ උතුරට එරෙහිව එම අවස්ථාවේදී ලකුණු 22කට කඩුලු 5ක් දවාගත් ඔහු, කඩුලු ත්‍රිත්වයක්ද සම්පූර්ණ කරමින් මෙවර යොවුන් ලීග් තරගාවලියේ එවැනි දස්කමක් දැක්වූ පළමු පන්දු යවන්නා බවට පත්විය.
අම්පිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කර ඇති ශෂිත්, මේ වනවිට ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් සිය දක්ෂතා ප්‍රදර්ශනය කරමින් සිටින අතර, දඹුල්ලට එරෙහි තරගයේදී ඔහු දැක්වූ පන්දු යැවීම මහනුවර ජයග්‍රහණයේ ප්‍රධාන සාධකයක් විය.
පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 234ක් රැස් කළ අතර, කේෂාන් යෝගරාජ් ලකුණු 55ක්, ශෂිත් බණ්ඩාර ලකුණු 33ක් සහ මන්දිල් ගුණවර්ධන නොදැවී ලකුණු 30ක් රැස් කළහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල පන්දුවාර 34.4කදී ලකුණු 101කට දැවී ගියේය.
මේ අතර ගාල්ල කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් පන්දුවාර 49.1කදී ලකුණු 270කට දැවී ගිය අතර, එහිදී සඳරු මල්ෂාන්ගේ ශතකය ඉනිමේ කැපී පෙනෙන දස්කම විය. ලකුණු 271ක ඉලක්කයක් හඹාගිය කොළඹ උතුර කණ්ඩායමට පන්දුවාර 47.3කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 258ක් පමණි.
මේ ජයග්‍රහණයත් සමඟ තරග 3කට සහභාගි වී තරග 3ම ජයගත් ගාල්ල කණ්ඩායම ලකුණු 6ක් සමඟ ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි. තරග 3කදී ජයග්‍රහණ තුනක් ලබා සිටින කොළඹ දකුණ ලකුණු 5ක් සමඟ දෙවැනි ස්ථානයේ සිටින අතර, තරග 4කදී ජයග්‍රහණ 2ක් සමඟ මහනුවර ලකුණු 4ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවෙයි.
කොළඹ උතුර සහ දඹුල්ල මෙතෙක් තරග ජයගෙන නොමැති අතර, ඔවුන් පිළිවෙළින් සිව්වැනි සහ පස්වැනි ස්ථානවල රැඳී සිටිති.
මහනුවරට ලකුණු 133ක ජයක්
මහනුවර – 234/9 (පන්දුවාර 50)
කේෂාන් යෝගරාජ් 55, ශෂිත් බණ්ඩාර 33, මන්දිල් ගුණවර්ධන නොදැවී 30, යෙනුල හේවාවිතාරණ 28, චනුල් කොඩිතුවක්කු 26, සනිතු ගුණතිලක 22.
උදයකුමාර් ෂෙනන් 3/41, අමල් පෙරේරා 2/27, තේජාන් බණ්ඩාර 2/43.
දඹුල්ල – 101 (පන්දුවාර 34.4)
මුරලිදරන් අනීෂ් 23, අමල් පෙරේරා 22, කලිඳු සචින්තන 18.
ශෂිත් බණ්ඩාර 5/11, සිසිල් හේමක 2/12.
ගාල්ලට ලකුණු 12ක ජයක්
ගාල්ල – 270 (පන්දුවාර 49.1)
සඳරු මල්ෂාන් 115, රවීන් සචින්ත 26, චෙනුල් මිනලක 23*.
තිසංග පෙරේරා 4/52, හිමිර කුඩගම 2/28.
කොළඹ උතුර – 258 (පන්දුවාර 47.3)
තිසංග පෙරේරා 80, ශැනොන් සිල්වා 42, විහඟ පෙරේරා 38.
රවීන් සචින්ත 3/35, සසිඳු ඩිලක්ෂිත 2/54, සඳරු මල්ෂාන් 2/44, චෙනුල් මිනලක 2/42.




