ශ්‍රී ලංකා පිලේ මැද පෙළ පිතිකරු සෝනාල් දිනූෂ අගෝස්තු මාසයේ අයි.සී.සී. ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත ක්‍රීඩකයන් අතරට එක්ව සිටියි. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරග දෙකේදී පිත්තෙන් දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් සෝනාල් මෙම නිර්දේශිත නම් අතරට එක්ව සිටියි.
වමතින් පිත්ත හසුරුවන සොනාල් ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කරමින් පළමු ශතකය වාර්තා කළ අතර, දෙවැනි ඉනිමේදීද ලකුණු 84ක් රැස් කළේය. ශ්‍රී ලංකාවට එම තරගය පරාජය වුවද, සෝනල්ගේ පිතිහරඹය කැපී පෙනුණි.
කොළඹදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඊට නොදෙවැනි පිතිහරඹයක නිරත වූ සෝනාල් පළමු ඉනිමේදී ලකුණු 103ක් ද, දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 133ක් රැස් කරමින් ශ්‍රී ලංකාව තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට දැඩි දායකත්වයක් ලබා දුන්නේය.
ඒ අනුව ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරග දෙකේ ඉනිම් හතරේදී ලකුණු 420ක් රැස් කිරීමට සෝනාල් සමත් වූ අතර, ඔහුගේ පිතිකරණ සාමාන්‍යය 140.00ක් විය. එය එම තරගාවලියේ කණ්ඩායම් දෙකෙහිම පිතිකරුවන් අතර ඉහළම ලකුණු සංඛ්‍යාව වීමද විශේෂත්වයකි.





