ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සමඟ එක්ව, 2026 වසරේ වයස අවුරුදු 13න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනුු ලබන දිවයිනේ පාසල් 900 ක් සඳහා අවශ්‍ය ක්‍රිකට් පන්දු බෙදාදීමේ වැඩසටහන ආරම්භ කර තිබේ. ඒ අනුව, මෙම වැඩසටහන යටතේ පැවැති පළමු අදියරේදී වයස අවුරුදු 13න් පහළ පළමු කාණ්ඩය නියෝජනය කරන පාසල් 81ක් සහ දෙවැනි කාණ්ඩය නියෝජනය කරන පාසල් 84ක් සඳහා ක්‍රිකට් පන්දු ලබාදීම සිදුකෙරිණි.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී මෙම වැඩසටහන පැවැති අතර, ඒ සඳහා අදාළ පාසල් නියෝජනය කරමින් විදුහල්පතිවරුන්, පාසල් නිලධාරීන්, පුහුණුකරුවන්, ක්‍රීඩා භාර ගුරුවරුන් ඇතුළු 300කට ආසන්න පිරිසක් සහභාගි වූහ.
මෙහිදී 2026 වසරේ වයස අවුරුදු 13න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියට අදාළ නව තරග කොන්දේසි, නීති සහ රෙගුලාසි පිළිබඳවද සහභාගි වූවන් දැනුවත් කිරීමට කටයුතු කෙරිණි.
පාසල් ක්‍රිකට් තරග පැවැත්වීමේදී තරග කොන්දේසි හා නීති රෙගුලාසි ඒකාකාරීව ක්‍රියාත්මක කිරීම සහ දිවයින පුරා තරගාවලියට සහභාගි වන පාසල් වෙත අදාළ තොරතුරු නිවැරදිව හා කාර්යක්ෂමව ලබාදීම මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.
2026 වසරේ වයස අවුරුදු 13න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය සඳහා පළමු, දෙවැනි සහ තෙවැනි කාණ්ඩ යටතේ පාසල් 900කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින අතර, තරගාවලියට සහභාගි වන සියලුම පාසල් සඳහා අවශ්‍ය ක්‍රිකට් පන්දු ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇත.
එමෙන්ම, තරගාවලියට අදාළ නව තරග කොන්දේසි, ක්‍රිකට් නීති සහ රෙගුලාසි පිළිබඳවද සියලුම සහභාගි වන පාසල් දැනුවත් කිරීමට නියමිතය.
බාලිකා පාසල් 13කට ගමන් වියදම් දීමනා
මේ අතර, වයස අවුරුදු 19න් පහළ බාලිකා පළමු කාණ්ඩයේ පාසල් ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ බාලිකා පාසල් 13ක් සඳහා එක් පාසලකට රුපියල් 250,000 බැගින් වූ ගමන් වියදම් දීමනාවක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිරිනමන ලදී.
බාලිකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් දිරිගැන්වීම සහ එහි ඉදිරි සංවර්ධනය සඳහා අවශ්‍ය සහාය ලබාදීමේ අරමුණින් මෙම මූල්‍ය දායකත්වය ලබාදීමට කටයුතු කර තිබේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රීඩා) ප්‍රභාත් ඉන්දික මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න මහතා, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති සුසන්ත මෙන්ඩිස් මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ දක්ෂතා මධ්‍යස්ථානයේ ප්‍රධානී රුවන් කල්පගේ මහතා සහ එම පුහුණුකරන අධ්‍යාපන අංශයේ ප්‍රධානී හේෂාන් ද මෙල් මහතා ඇතුළු නිලධාරීහු රැසක් සහභාගි වූහ.




