slc
logo
Home   |    News
සැප්තැම්බර් 27, 2026
තෙවැනි තරගයේ ජයත් සමඟින් එංගලන්තය එක්දින තරගාවලිය ජය ගනියි

sinhala editor

ටොම් බැන්ටන් සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින්ද, හැරී බෲක් වේගවත් ලකුණු 77ක් රැස් කරමින්ද, ජෝර්ඩන් කොක්ස් පන්දු 52කින් ලකුණු 76ක් ලබා ගනිමින්ද එල්ල කළ ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් යළිත් වරක් අසරණ කරමින් එංගලන්තය තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 223ක දැවැන්ත ජයක් අද (27 දා) රාත්‍රියේ වාර්තා කළේය. ඒ සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට එංගලන්තයට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 356ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු පන්දුවාර 30 තුළම සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 132ක් පමණි. ලකුණු 53කට කඩුලු 3ක්, ලකුණු 77කට කඩුලු 5ක් ලෙස කඩාවැටුණු ශ්‍රී ලංකා ඉනිම අවසානයේදී එකම පිතිකරුවෙකුටවත් ලකුණු 35 ඉක්මවා යාමට නොහැකි විය.

ශ්‍රී ලංකා ඉනිමේදී යම් දක්ෂතාවක් පෙන්වූ එකම පිතිකරුවා වූයේ කුසල් මෙන්ඩිස්ය. හයේ පහර තුනකින් සහ හතරේ පහර දෙකකින් සමන්විත ඔහුගේ ලකුණු 35 ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.

ලකුණු 356ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 29.1කදී ලකුණු 132කට සීමා වූ අතර, එංගලන්තය ලැබූ මෙම ජය ඔවුන් එක්දින ජාත්‍යන්තර තරගවලදී ලැබූ ලකුණු පරතරයෙන් පස්වැනි දැවැන්තම ජයග්‍රහණය බවටද පත්විය.

විශාල ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමට ආරම්භයේ සිටම එංගලන්ත පන්දු යවන්නන්ගෙන් දැඩි පීඩනයක් එල්ල විය. පළමු කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක ලකුණු 1කට දැවී ගියේ සනී බේකර්ගේ පන්දුවකට ජෝර්ඩන් කොක්ස් අතට උඩපන්දුවක් ලබා දෙමිනි.

කමිඳු මෙන්ඩිස් ලකුණු 12කට ගස් ඇට්කින්සන්ගේ පන්දුවකට බෙන් ඩකට් අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. නායක කුසල් මෙන්ඩිස් පන්දු 26කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 35ක් ලබා යම් වේගයක් එක් කළද, ඔහුද ඇට්කින්සන්ගේ පන්දුවකට ටොම් බැන්ටන් අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.

ඉන් අනතුරුව පවන් රත්නායක ලකුණු 18කට දුවද්දී දැවී ගියේය. ජොෆ්රා ආචර්ගේ පන්දුවකට ලකුණු දෙකක් ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු දැවී ගියේය.

පවන් රත්නායකගේ දැවී යෑම තරගයේදී විශේෂ අවධානයක් දිනාගත් අතර, එහිදී ඔහු එකම අවස්ථාවේදී දැවී ගිය – නොදැවුණු – යළි දැවී ගිය පිතිකරුවකු බවට පත්වීම විශේෂත්වයක් විය. තරගයේ 15 වැනි පන්දුවාරයේදී ජොෆ්රා ආචර්ගේ පන්දු රැකීමකින් පවන් දුවද්දී දැවී ගිය බවට විනිසුරු තීරණය කළද, ජෝර්ඩන් කොක්ස්ගේ අත්වැසුම්වලින් බේල්ස් ගැලවී තිබීම හේතුවෙන් තීරණය මුලින් ‘නොදැවුණු’ ලෙස වෙනස් විය. කෙසේ වෙතත්, ආචර්ගේ පන්දුවෙන් කඩුල්ලේ එක් ඉන්නක් සම්පූර්ණයෙන්ම ගැලවී ඉවත් වී තිබීම හේතුවෙන් ක්‍රිකට් නීති අනුව කඩුල්ල බිඳී ඇති බව තීරණය කරමින් අවසානයේ පවන් ලකුණු 18කට දැවී ගිය පිතිකරුවකු බව තෙවැනි විනිසුරුවරයා විසින් තහවුරු කෙරිණි. මේ සඳහා විනිසුරුවන්ට තීරණය කිරීමට මිනිත්තු හතකට ආසන්න කාලයක් ගත වීමද කැපී පෙනිණ.

ලකුණු 77දී පවන් රත්නායක දැවී ගිය පසු එම ලකුණු සංඛ්‍යාවටම චරිත් අසලංකද දැවී යාම ශ්‍රී ලංකා ඉනිමට දැඩි පහරක් විය. ජෝ රූට්ගේ පන්දුවකට ජේමි ඕවර්ටන් අතට උඩපන්දුවක් ලබා දෙමින් අසලංක ලකුණු 7කට දැවී ගියේය.

එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී ලියම් ඩෝසන් ලකුණු 26කට කඩුලු 3ක් දවාගනිමින් සිය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කළේය. ගස් ඇට්කින්සන් ලකුණු 26කට කඩුලු 2ක් දවාගත් අතර විල් ජැක්ස්, ජෝ රූට් සහ ජේමි ඕවර්ටන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

එංගලන්ත ඉනිම ආරම්භයේදීම බෙන් ඩකට් ලකුණු නොලබා දැවී ගියද, බැන්ටන් සහ ජෝ රූට් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඉනිම ගොඩනැගීමට උත්සාහ කළහ. රූට් ලකුණු 18කට දැවී ගිය පසු හැරී බෘක් සමඟ එක්වූ බැන්ටන් එංගලන්ත ඉනිමට ශක්තිමත් පදනමක් ලබා දුන්නේය.

බැන්ටන් පන්දු 105කදී හතරේ පහර 16ක් සහ හයේ පහර 5ක් සමඟ ලකුණු 126ක් රැස් කළේ සිය පළමු ජාත්‍යන්තර ශතකය සම්පූර්ණ කරමිනි. බෘක් පන්දු 66කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 77ක් රැස් කළේය. ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 150ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.

බෘක් දැවී ගිය පසු ජොස් බට්ලර් වෙනුවට කණ්ඩායමට පැමිණි ජෝර්ඩන් කොක්ස් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 52කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 76ක් ලබා ගත්තේය. විල් ජැක්ස් ලකුණු 25ක් සහ ජේමි ඕවර්ටන් නොදැවී ලකුණු 21ක් ලබා ගැනීමත් සමඟ එංගලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 355ක් රැස් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු ලකුණු 64කට කඩුලු 3ක් දවාගත් අතර, සචින්දු කොළඹගේ ලකුණු 71කට කඩුලු 2ක් දවා ගත්තේය.

මෙය හැරී බෘක්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත සුදු පන්දු කණ්ඩායම මෙවර තරග වාරයේදී තරග 13 කින් ලැබූ 11 වැනි ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය.

එංගලන්තය – 355/7 (පන්දුවාර 50) – ටොම් බැන්ටන් 126, හැරී බෘක් 77, ජෝර්ඩන් කොක්ස් 76, විල් ජැක්ස් 25, ජේමි ඕවර්ටන් නොදැවී 21, ජෝ රූට් 18, බෙන් ඩකට් 0, ලියම් ඩෝසන් 0, අසිත ප්‍රනාන්දු 64/3, සචින්දු කොළඹගේ 71/2, දිල්ෂාන් මධුශංක 49/1, ජනිත් ලියනගේ 37/1.

ශ්‍රී ලංකාව – 132 (පන්දුවාර 29.1) – කුසල් මෙන්ඩිස් 35, ජනිත් ලියනගේ 19, පවන් රත්නායක 18, එෂාන් මාලිංග 14, කමිඳු මෙන්ඩිස් 12, චරිත් අසලංක 7, අසිත ප්‍රනාන්දු 6, දුනිත් වෙල්ලාලගේ 5, සචිඳු කොළඹගේ 4, පැතුම් නිශ්ශංක 1, දිල්ෂාන් මධුශංක නොදැවී 2,  ලියම් ඩෝසන් 26/3, ගස් ඇට්කින්සන් 26/2, විල් ජැක්ස් 8/1, ජෝ රූට් 15/1, ජේමි ඕවර්ටන් 10/1, සනී බේකර් 27/1.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar