පාකිස්තානයේ සංචාරයක නිරත ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැති එක්දින ක්රිකට් තරගාවලිය තරග 4-1ක් ලෙස ජය ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම සමත් විය. දෙරට අතර පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගය මුල්තාන් ක්රිකට් ක්රීඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති අතර, එම තරගයෙන් පාකිස්තාන ක්රීඩකයෝ ලකුණු 27ක ජයක් වාර්තා කළහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 283ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 256ක් පමණි.
පාකිස්තාන ඉනිමේ කැපී පෙනෙන පිතිකරණයක නිරත වූ මොහොමඩ් යූසෆ් පන්දු 130කදී හතරේ පහර 12ක් සමඟින් ලකුණු 105ක් රැස් කළේය. ඔහු මෙම තරගාවලියේ දෙවැනි එක්දින තරගයේදී ද ශතකයක් වාර්තා කර තිබීම විශේෂත්වයකි.
පාකිස්තාන නායක අසාන් අහමඩ් ද ලකුණු 91ක් රැස් කරමින් සිය කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ නැංවීමට දායක වූයේ පන්දු 92කට මුහුණ දෙමින් හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් එල්ල කරමිනි. එය ඔහු මෙම තරගාවලියේ පිට පිට වාර්තා කළ තෙවැනි අර්ධ ශතකය විය.
යූසෆ් සහ අහමඩ් එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 138ක සබඳතාවක් ගොඩනැඟූ අතර, හමීඩ් රාසා පන්දු 28කදී ලකුණු 30ක් රැස් කරමින් පාකිස්තාන ඉනිමට තවත් ශක්තියක් එක් කළේය.
ශ්රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ රවීන් සචින්ත සහ කලිඳු සචින්තන කඩුලු 2 බැගින් දවා ගත්හ. චෙනුල් මිල්නක සහ සඳරු මල්ශාන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
ලකුණු 284ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ උපනායක සඳරු මල්ශාන්ය. ඔහු පන්දු 55කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 56ක් රැස් කළේය. එය මෙම තරගාවලියේ ඔහු වාර්තා කළ දෙවැනි අර්ධ ශතකය විය.
ශ්රී ලංකා ඉනිමේ අවසන් භාගයේදී චෙනුල් මිල්නක සමඟ එක් වූ සඳරු හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99ක සබඳතාවක් ගොඩනඟමින් ජයග්රහණය පිළිබඳ බලාපොරොත්තු ඇති කළේය. සඳරු දැවී ගියද, මිල්නක පන්දු 56කදී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 40ක් රැස් කළේය.
මීට අමතරව යෙනුල හේවාවිතාරණ පන්දු 71කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 46ක් ලබාගත් අතර, මෙතුක ගුණරත්න ලකුණු 23ක් ද චෙනුක දොඩංගොඩ ලකුණු 22ක් ද රැස් කළහ.
පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් සයිම් ලකුණු 30කට කඩුලු 2ක් දවා ගත් අතර, සුදයිස් අහමඩ්, අම්මාර් ඛාන්, හමීඩ් රාසා සහ ෆහාඩ් ඉක්බාල් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.
මෙම තරගය සඳහා ශ්රී ලංකා කණ්ඩායම පෙර තරගයට ක්රීඩා කළ ශැනෝන් සිල්වා සහ චෙනුල් හතරසිංහ වෙනුවට චෙනුක දොඩංගොඩ සහ චෙනුල් මිල්නක කැඳවා තිබූ අතර, පාකිස්තාන කණ්ඩායම වෙනස්කම්වලින් තොරව තරගයට එක් විය.
පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 7ක් දැවී 283 – මොහොමඩ් යූසෆ් 105, අසාන් අහමඩ් 91, හමීඩ් රාසා 30, කලිඳු සචින්තන 53/2, රවීන් සචින්ත 51/2
ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 7ක් දැවී 256 – සඳරු මල්ශාන් 56, යෙනුල හේවාවිතාරණ 46, චෙනුල් මිල්නක නොදැවී 40, මෙතුක ගුණරත්න 23, චෙනුක දොඩංගොඩ 22, මොහොමඩ් සයිම් 30/2





