නායකත්වයට පත්වීමෙන් පසු තම පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූ සහිබ්සාදා ෆර්හාන්ගේ වේගවත් ලකුණු 89 සහ මාස් සාදාකාත්ගේ අර්ධ ශතකය හමුවේ ශ්‍රී ලංකාවට එරෙහි පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් පහසු ජයක් අත්කර ගැනීමට පාකිස්තානය අද (09 දා) රාත්‍රිෙය් සමත් විය.
රාවල්පිණ්ඩිහිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 182ක් රැස් කළේය. එහෙත් ආරම්භයේ සිටම ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ පාකිස්තාන පිතිකරුවෝ පන්දුවාර 6කදී ලකුණු 70ක් රැස් කරමින් තරගයේ පාලනය තමන් සතු කර ගත්හ. අනතුරුව ද වේගය අඩු නොකළ ඔවුහු පන්දුවාර 20ක් අවසන් වීමට පෙර ඉලක්කය පසුකර යමින් කඩුලු 6ක ජයක් තහවුරු කර ගත්හ.
පන්දු 53කට පමණක් මුහුණ දෙමින් හයේ පහර සහ හතරේ පහරවලින් වර්ණවත් වූ ලකුණු 89ක් රැස් කළ ෆර්හාන්, පාකිස්තාන ඉනිමේ ප්‍රධානතම ශක්තිය බවට පත්විය. ඔහුට අනගි සහායක් ලබාදුන් මාස් සාදාකාත් පන්දු 28කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කරමින් වේගවත් ලකුණු රැස්කිරීමක නිරත විය. දෙදෙනා අතර ගොඩනැඟුණු ලකුණු 92ක සම්බන්ධතාව පාකිස්තානය ජයග්‍රහණය කරා ගෙන යාමට තීරණාත්මක විය. ඊට පෙර ෆකාර් සමාන් ද ආරම්භයේදීම ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වෙමින් පාකිස්තානයට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකාවට අපේක්ෂිත වේගයෙන් ලකුණු රැස් කිරීමට නොහැකි විය. ආරම්භක පිතිකරු කමිල් මිශාරට ලකුණු අතරට පිවිසීමට පන්දු නවයක් වැය වූ අතර, සිව්වැනි පන්දුවාරය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු දෙකක් අහිමි කරගෙන සිටියේය. පවර්ප්ලේ පන්දුවාරවලදී පන්දු රකින්නන් අතරින් පන්දුව යොමු කිරීමට උත්සාහ කළ පහර කිහිපයක් සාර්ථක නොවීමත්, අවදානම් සහගත පහර තෝරා ගැනීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවට මුල් පන්දුවාරවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට නොහැකි විය.
අවසන් පන්දුවාර කිහිපයේදී ලකුණු වේගය ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව සමත් වුවද, මුල් අවස්ථාවේදී අහිමි වූ ලකුණු පසුව පියවා ගැනීම පහසු නොවීය. කෙසේ වෙතත්, ආරම්භක පිතිකරු ලහිරු උදාර පමණක් පාකිස්තාන පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දෙමින් ශ්‍රී ලංකා ඉනිමට ජීවය ලබා දුන්නේය.
ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනුණු එකම පිතිකරු බවට පත්වූ ලහිරු උදාර පන්දු 55කදී ලකුණු 91ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට අලංකාර හතරේ පහර සහ හයේ පහර ඇතුළත් වූ අතර, වේගය සහ පාලනය මනාව මුසු කරගත් ඔහු පවර්ප්ලේ අවස්ථාවෙන් පසුව ද ලකුණු රැස් කිරීමේ වේගය පවත්වා ගැනීමට සමත් විය.
ආරම්භයේදී ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ උදාර, පසුව අනෙක් අන්තයේ කඩුලු බිඳ වැටෙද්දී ඉනිම ගොඩනැඟීමේ වගකීම ද භාර ගත්තේය. වේග පන්දු යවන්නන්ට මෙන්ම දඟ පන්දු යවන්නන්ට ද සාර්ථකව මුහුණ දුන් ඔහු, විශේෂයෙන් පිට ඉන්න කලාපය හරහා එල්ල කළ පහරවලින් ලකුණු රැස් කළේය.
කමිඳු මෙන්ඩිස් සහ දසුන් ශානකගෙන් යම් සහායක් ලැබුණ ද, එම සම්බන්ධතා දිගු වේලාවක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස ලකුණු වේගය පවත්වා ගනිමින් කඩුලු ආරක්ෂා කර ගැනීමේ දුෂ්කර අභියෝගයට උදාරට තනිවම මුහුණ දීමට සිදුවිය.
ඉනිමේ අවසන් පන්දුවාරයට පෙර දැවී ගිය උදාරගේ කඩුල්ල ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් වූ අතර, ඉන් අනතුරුව පන්දු පහක් ඇතුළත තවත් කඩුලු තුනක් බිඳ වැටීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් අදියර බලාපොරොත්තු වූ අයුරින් අවසන් කර ගැනීමට නොහැකි විය.
ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 6ක් දැවී ලකුණු 182යි – ලහිරු උදාර 91, කුසල් මෙන්ඩිස් 01, කමිල් මිශාර 06, කමිඳු මෙන්ඩිස් 23, සහන් ආරච්චිගේ 01, දසුන් ශානක 18, දුනිත් වෙල්ලාලගේ 05, මහීෂ් තීක්ෂණ 01, දුෂ්මන්ත චමීර 06*, එෂාන් මාලිංග 01*, නසීම් ෂා 36/3, මොහොමඩ් ඉම්රාන් 21/2
පාකිස්තානය පන්දුවාර 18.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 187 යි – සහිබ්සදා ෆර්හාන් 89, ෆකාර් සමාන් 21, මාස් සදාකාත් 50, හසන් නවාස් 01, සියම් ආයුබ් 08, ඛවාජා නෆේ 12, ශදාබ් ඛාන් 00, මොහොමඩ් ඉම්රාන් 00*, මහීෂ් තීක්ෂණ 36/2, එෂාන් මාලිංග 33/2, නුවන් තුෂාර 32/1, දුෂ්මන්ත චමීර 40/1





