slc
logo
Home   |    News
ඔක්තෝබර් 27, 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ලබන වසර මුල පැවැත්වෙන ලකුණු!

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ නැවත පැවැත්වීමට අවශ්‍ය පසුබිම 2027 වසරේ මුල් මාස කිහිපය තුළ සකස් කර ගැනීමට හැකි වනු ඇතැයි එම ආයතනයේ පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා විශ්වාසය පළ කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ව්‍යුහාත්මක වෙනස්කම් හඳුන්වා දීම අරමුණු කරගත් නව ව්‍යවස්ථාව සම්බන්ධ ක්‍රියාවලිය මේ වසර අවසන් වීමට පෙර නිම කර ගැනීමට හැකි වනු ඇතැයි ද ඒ මහතා අපේක්ෂා කරයි.

එම ක්‍රියාවලිය සැලසුම් කළ පරිදි අවසන් වුවහොත්, 2027 වසරේ මුල් මාස කිහිපය තුළ ආයතනයේ නිලවරණ නැවත පැවැත්වීමටත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාන්‍ය මෙහෙයුම් යළි ස්ථාපිත කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් වනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පිළිබඳව පරිවර්තන කමිටුව විසින් මසකට වරක් පවත්වනු ලබන මාධ්‍ය හමුවේදී එම කමිටු සභාපතිවරයා ඉහත අදහස් පළ කර සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ අද (27 දා) මධ්‍යාහ්නයේදීය. ඒ අවස්ථාවේදී ඉරාන් වික්‍රමරත්න මහතාගේ දෙපසින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපළක් වන වර්තමාන පරිවර්තන කමිටුවේ සාමාජිකයන් වන සිදත් වෙත්තමුණි සහ රොෂාන් මහානාම යන මහත්වරුද අසුන්ගෙන සිටියහ.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තුළ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අත්හිටුවා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිවර්තන කමිටුව පත් කිරීම ක්‍රිකට් පරිපාලනයට රජයේ මැදිහත්වීමක් ලෙස අයි.සී.සී.ය සැලකීම ඊට හේතු වී ඇත. මෙම තත්ත්වය හමුවේ ලබන වසරේ කාන්තා චැම්පියන්ස් කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ද ශ්‍රී ලංකාවට අහිමි විය.

යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත මඟින් ආයතනයේ පාලන ව්‍යුහය සහ මෙහෙයුම් ක්‍රියාවලීන්හි සැලකිය යුතු වෙනස්කම් රැසක් හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව සාමාජිකයන් 14 දෙනකුගෙන් සමන්විත පාලක මණ්ඩලයක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇති අතර, එහි සාමාජිකයන් හත්දෙනකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජික සංගම් මඟින් ඡන්දයෙන් තෝරා පත් කරගනු ලබන අතර, අනෙක් හත්දෙනා ස්වාධීන අධ්‍යක්ෂවරුන් ලෙස පත් කරනු ලැබේ. ස්වාධීන අධ්‍යක්ෂවරුන් අතර අවම වශයෙන් කාන්තාවන් දෙදෙනකු ඇතුළත් විය යුතුය.

මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණක් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වය තහවුරු කිරීමයි. දැනට 1973 ක්‍රීඩා පනත යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතැම් පරිපාලන කටයුතු රජයේ නියාමන රාමුවට යටත්ව සිදු කෙරේ. යෝජිත නව පනත් කෙටුම්පත මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම පනත යටතේ පාලනය වන ආයතන අතරින් ඉවත් කර, ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනය සඳහා වඩාත් ස්වාධීන නීතිමය රාමුවක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ.

“මෙම ක්‍රියාවලිය තවත් මාසයක පමණ කාලයක් තුළ අවසන් වනු ඇතැයි අපි විශ්වාස කරනවා. කෙසේ වෙතත්, එය පාර්ලිමේන්තුවේ කටයුතු සිදු වන කාලසටහන මතත් රඳා පවතිනවා. නමුත් මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා නව ව්‍යවස්ථාව නීතියක් බවට පත්වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා” යැයි වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

පනත් කෙටුම්පත සැප්තැම්බර් මස අගදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, එහි පළමු වර කියවීම ද අවසන් කර තිබේ. මේ වන විට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් සහ යෝජනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බලනු ලැබ ඇත.

“පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව සති දෙකක කාලයක් තුළ ඕනෑම පුරවැසියකුට එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට අවස්ථාව තිබුණා. එම කාලය දැන් අවසන් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පෙත්සම් සහ යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මේ සතිය තුළ සිය තීරණය ලබා දෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඉන් අනතුරුව ඊළඟ සතියේදී පනත් කෙටුම්පත නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කරනවා” යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පනත් කෙටුම්පතක් සම්මත කිරීමේදී එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල විය යුතු බැවින්, ඇතැම් අවස්ථාවලදී සාමාන්‍ය බහුතරයට වඩා වැඩි බහුතරයක් හෝ ජනමත විචාරණයක් අවශ්‍ය විය හැකි බව ද වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේය. එවැනි අවශ්‍යතාවක් මතු වුවහොත්, අදාළ සංශෝධන ධනාත්මකව සලකා බැලීමට සූදානම් බව ද ඔහු සඳහන් කළේය.

“මෙම ක්‍රියාවලිය කිසිදු පුද්ගලයකුගේ පෞද්ගලික අවශ්‍යතාවක් වෙනුවෙන් සිදු කෙරෙන්නේ නැහැ. අප මෙය දකින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවටත් රටටත් ප්‍රතිලාභ සැලසිය හැකි ප්‍රතිසංස්කරණයක් ලෙසයි” යනුවෙන් ඔහු පැවසීය.

වත්මන් රජය විසින්ම පරිවර්තන කමිටුව පත් කර ඇති අතර, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ද රජයට හිමිව ඇති බැවින්, පනත් කෙටුම්පතේ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සාපේක්ෂව පහසුවෙන් අවසන් කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සති තුනකට පසුව දෙවැනි වර කියවීම සඳහා විවාදය කැඳවා ඡන්ද විමසීමක් පැවැත්විය හැකි බව වික්‍රමරත්න මහතා සඳහන් කළේය. එහෙත් නව ව්‍යවස්ථාව නීතියක් බවට පත්වීමෙන් පසුව, තේරී පත්වන නිලධාරීන් සහ පත් කරනු ලබන ස්වාධීන අධ්‍යක්ෂවරුන් අදාළ ක්‍රියාවලීන් අනුව පත් කිරීම සඳහා තවත් සති කිහිපයක් ගතවනු ඇත.

යෝජිත පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය, ඡන්ද විමසීමේ ක්‍රමවේද සහ මෙහෙයුම් ක්‍රියාවලීන්හි වෙනස්කම් සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමඟින් ක්‍රිකට් පරිපාලනයේ ස්වාධීනත්වය තහවුරු කරමින්, ආයතනයේ පාලන කටයුතු සඳහා වඩාත් පැහැදිලි සහ විධිමත් නීතිමය පදනමක් සැකසීම අරමුණු කර ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee