පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට යොවුන් කඩුලු රකින්නකු සහ පිතිකරුවකු වන අංජල බණ්ඩාර ඇතුළත් කර තිබේ. සීමිත පන්දුවාර තරග රටාව තුළ දස්කම් දැක්වූ වේග පන්දු යවන්නකු වන එෂාන් මාලිංගට ද ටෙස්ට් සංචිතයේ ස්ථානයක් හිමිවීම මෙවර සංචිතයේ කැපී පෙනෙන කරුණු අතර වේ.
කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත සංචිතයට පැතුම් නිශ්ශංක ද ඇතුළත් කර ඇති අතර, ඔහුගේ සහභාගිත්වය ශාරීරික යෝග්‍යතාව මත තීරණය වනු ඇත.
ඉන්දියාව සමඟ පැවැති ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ සංචිතය හා සැසඳීමේදී මෙවර වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ. ළහිරු උදාර, නිශාන් මධුෂ්ක, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස් සහ විශ්ව ප්‍රනාන්දු මෙවර සංචිතයෙන් ඉවත් කර ඇති අතර, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, එෂාන් මාලිංග සහ අංජල බණ්ඩාර ඊට එක්කර තිබේ. හිටපු ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ද මෙවර සංචිතයට ක්‍රීඩකයකු ලෙස ඇතුළත් කර ඇත.
අංජල බණ්ඩාරට මෙම අවස්ථාව හිමිවීම සඳහා ඔහු මෑතකදී දැක්වූ පිතිකරණ දක්ෂතා වැදගත් පසුබිමක් සපයා තිබේ. බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී පළමු ඉනිමේ ලකුණු 163ක් රැස් කළ අංජල, දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 188ක් ලබා ගත්තේය. ඉනිම් දෙකේදීම දිගු වේලාවක් කඩුල්ලේ රැඳී සිටිමින් කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස් කිරීමට ඔහු දැක්වූ හැකියාව කැපී පෙනිණි.
එමෙන්ම ඉන්දීය ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි සිව්දින තරගයේදී ද අංජල ලකුණු 42ක් රැස් කරමින් සහන් ආරච්චිගේ සමඟ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99ක සම්බන්ධතාවක් ගොඩනැඟීමට දායක විය. කඩුලු රැකීමේ හැකියාව ද සහිත පිතිකරුවකු ලෙස ඔහු දැක්වූ මෙම දක්ෂතා ජාතික ටෙස්ට් සංචිතයට පිවිසීමට මඟ පාදා තිබේ.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – පැතුම් නිශ්ශංක (ශාරීරික යෝග්‍යතාව මත), පසිඳු සූරියබණ්ඩාර, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, සොනාල් දිනූෂ, කුසල් මෙන්ඩිස් (නායක), ධනංජය ද සිල්වා, කේසර නුවන්ත, ප්‍රභාත් ජයසූරිය, එෂාන් මාලිංග, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ළහිරු කුමාර, මිලාන් රත්නායක සහ අංජල බණ්ඩාර.




