slc
logo
Home   |    News
ඔක්තෝබර් 17, 2026
තුන්කොන් සටන හෙට ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට, ජාත්‍යන්තර එක්දින පිටියේ ප්‍රබල ප්‍රතිවාදීන් දෙදෙනකු හමුවේ තම උපරිමයෙන්ම ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත.

තරගාවලියට එක්වන කණ්ඩායම් ත්‍රිත්වයේ නායකත්වය පිළිවෙළින් කුසල් මෙන්ඩිස්, හැරී බෲක් සහ ෂහීන් ෂා අෆ්රිඩි වෙත පැවරී තිබේ. එක්දින ජාත්‍යන්තර කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව පාකිස්තානය පස්වැනි ස්ථානයේත්, එංගලන්තය හයවැනි ස්ථානයේත්, ශ්‍රී ලංකාව හත්වැනි ස්ථානයේත් පසුවන බැවින් තරගාවලියේදී කණ්ඩායම් තුනටම සිය ස්ථානය තහවුරු කර ගැනීමේ වැදගත් අවස්ථාවක් හිමිවනු ඇත.

පාකිස්තානය

ෂහීන් ෂා අෆ්රිඩිගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන කණ්ඩායම මෙම තරගාවලියට එක්වන්නේ පිතිකරණයෙන් මෙන්ම පන්දු යැවීමෙන්ද දස්කම් දැක්විය හැකි ක්‍රීඩකයන් රැසක් සමඟිනි.

පාකිස්තාන පිතිකරණයේ ප්‍රධානතම බලාපොරොත්තුවක් වන බාබර් අසාම් මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 143කදී ලකුණු 6,626ක් රැස්කර ඇති අතර, ඊට ශතක 20ක් සහ අර්ධ ශතක 38ක් ඇතුළත්ය. ශ්‍රී ලංකාවට එරෙහිව ශතක හතරක් සමඟින් ලකුණු 700ක්ද, එංගලන්තයට එරෙහිව ශතක දෙකක් සහ අර්ධ ශතක පහක් සමඟින් ලකුණු 854ක්ද රැස්කර ඇති ඔහු මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල අභියෝගයක් වනු ඇත.

ආරම්භක පිතිකරු ෆකාර් සමාන් සහ තුන් ඉරියව් ක්‍රීඩක සල්මන් අලි ආගා ද පාකිස්තාන පිතිකරණයේ වැදගත් භූමිකාවක් ඉටු කිරීමට සූදානමින් සිටිති. වේගපන්දු යවන්නන් වන ෂහීන් ෂා අෆ්රිඩි, හාරිස් රවුෆ් සහ නසීම් ෂා මෙන්ම පා දඟපන්දු යවන ශඩාබ් ඛාන් ද පාකිස්තාන පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කරති.

එංගලන්තය

හැරී බෲක්ගේ නායකත්වයෙන් තරගාවලියට එක්වන එංගලන්ත කණ්ඩායමට අත්දැකීම් බහුල ක්‍රීඩකයන් මෙන්ම නැගී එන දක්ෂයන්ද ඇතුළත්ය. එංගලන්තය අවසන් වරට ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලිය තරග 2–1ක් ලෙස ජයගැනීමෙන් අනතුරුව මෙම තරගාවලියට එක්වීමද කැපී පෙනේ.

එක්දින ජාත්‍යන්තර තරග 44කදී ලකුණු 1,530ක් රැස්කර ඇති හැරී බෲක් එංගලන්ත පිතිකරණයේ ප්‍රධානතම බලාපොරොත්තුවකි. ජෝ රූට්ගේ අත්දැකීම් සහ පිතිකරණ ස්ථාවරත්වයද එංගලන්තයට වැදගත් වන අතර, ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 195කදී ලකුණු 7,903ක් රැස්කර තිබේ. පන්දු යැවීමෙන්ද දායක විය හැකි රූට් කඩුලු 31ක් දවාගෙන ඇත.

පා දඟපන්දු යවන ඇඩිල් රෂීඩ් කඩුලු 243ක් දවාගනිමින් එංගලන්ත පන්දු යැවීමේ ප්‍රධානතම බලවේගයක් බවට පත්ව සිටී. විල් ජැක්ස්, සෑම් කරන් සහ බෙන් ඩකට් වැනි ක්‍රීඩකයන්ගේ දායකත්වයද එංගලන්ත කණ්ඩායමේ සමබරතාවට වැදගත් වනු ඇත.

ශ්‍රී ලංකාව

කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයට අත්දැකීම් සහිත ක්‍රීඩකයන් මෙන්ම සිය දක්ෂතා තහවුරු කර ගැනීමට අපේක්ෂාවෙන් සිටින ක්‍රීඩකයන්ද ඇතුළත්ය.

කුසල් මෙන්ඩිස් සමඟින් අවිශ්ක ප්‍රනාන්දු, ලහිරු උදාර, පවන් රත්නායක, කමිල් මිෂාර සහ කමිඳු මෙන්ඩිස් පිතිකරණ අංශයට එක්ව සිටිති. තුන් ඉරියව් ක්‍රීඩකයන් වන දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, ජනිත් ලියනගේ සහ සහන් ආරච්චිගේ ද කණ්ඩායමේ සමබරතාවට වැදගත් වනු ඇත.

පන්දු යැවීමේ අංශයෙන් මහීෂ් තීක්ෂණ, සචිඳු කොළඹගේ, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුශංක සහ එෂාන් මාලිංග සංචිතයට ඇතුළත් වෙති.

පාකිස්තාන තණතීරුවලදී වේගපන්දු යවන්නන්ගේ දායකත්වය, දඟපන්දු යවන්නන්ගේ පාලනය සහ පිතිකරුවන්ගේ ලකුණු රැස්කිරීමේ ස්ථාවරත්වය ශ්‍රී ලංකාවේ තරග ප්‍රතිඵල තීරණය කරන ප්‍රධාන සාධක වනු ඇත. විශේෂයෙන්ම සත්කාරක පාකිස්තානයට එරෙහි තරග දෙකේදී සහ එංගලන්තයට එරෙහි තරග දෙකේදී දක්ෂතා අතර අඛණ්ඩතාව පවත්වා ගැනීම ශ්‍රී ලංකාවට වැදගත් වේ.

ශ්‍රී ලංකා එක්දින සංචිතය

කුසල් මෙන්ඩිස් (නායක), ලහිරු උදාර, අවිශ්ක ප්‍රනාන්දු, පවන් රත්නායක, කමිල් මිෂාර, කමිඳු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, ජනිත් ලියනගේ, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, සචිඳු කොළඹගේ, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුශංක සහ එෂාන් මාලිංග.

තරග කාලසටහන

  • ඔක්තෝබර් 18: පාකිස්තානය සහ ශ්‍රී ලංකාව – රාවල්පිණ්ඩි
  • ඔක්තෝබර් 20: පාකිස්තානය සහ එංගලන්තය – රාවල්පිණ්ඩි
  • ඔක්තෝබර් 22: එංගලන්තය සහ ශ්‍රී ලංකාව – රාවල්පිණ්ඩි
  • ඔක්තෝබර් 25: පාකිස්තානය සහ එංගලන්තය – ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර්
  • ඔක්තෝබර් 27: පාකිස්තානය සහ ශ්‍රී ලංකාව – ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර්
  • ඔක්තෝබර් 29: එංගලන්තය සහ ශ්‍රී ලංකාව – ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර්
  • ඔක්තෝබර් 31: අවසන් මහා තරගය – ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර්

සියලුම තරග දිවා/රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ මූලික වටයේදී සෑම කණ්ඩායමකටම ප්‍රතිවාදීන් දෙදෙනා සමඟින් තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට සිදුවන අතර, එම වටයේ දක්ෂතා අනුව අවසන් මහා තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් තීරණය වනු ඇත.

ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය වැදගත් වන්නේ ප්‍රබල ප්‍රතිවාදීන් හමුවේ සිය එක්දින තරග රටාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමටත්, ජාත්‍යන්තර තරග පිටියේ සිය ස්ථානය තහවුරු කර ගැනීමටත් ලැබෙන අවස්ථාවක් බැවිනි. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට පිතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීම යන අංශ තුනෙන්ම සමබර දස්කම් දැක්වීමට හැකි වුවහොත් අවසන් මහා තරගය කරා යෑමේ බලාපොරොත්තු ශක්තිමත් කරගත හැකි වනු ඇත.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar