slc
logo
Home   |    News
ඔක්තෝබර් 13, 2026
මෙන්ඩිස්ලා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යති

sinhala editor

කුසල් මෙන්ඩිස්ගේ නොබිඳුණු ලකුණු 87ත්, කමිඳු මෙන්ඩිස්ගේ නොදැවුණු ලකුණු 40ත් එක්වූ විශිෂ්ට පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව පාකිස්තානයට එරෙහිව අද (13 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු අටක පහසු ජයක් වාර්තා කළේය. තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56කදී ලකුණු 98ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගූ මෙන්ඩිස් යුගලය, ලකුණු 169ක ඉලක්කය පන්දුවාර 17.1කදී සපුරා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

රාවල්පිණ්ඩිහිදී පැවැති මෙම තරගයේ ජය ශ්‍රී ලංකාව සතු වුවද පළමු තරග දෙක ජය ගැනීමට පාකිස්තානය සමත්වීම නිසා තරගාවලියේ ජය 2-1 ක් ලෙස පාකිස්තානය සතු විය. කුසල් මෙන්ඩිස්ගේ වාර්තාගත පිතිහරඹයෙන් ශක්තිමත් වූ ශ්‍රී ලංකාව, පාකිස්තානයට එරෙහිව ඔවුන්ගේ මව්බිමේදී විස්සයි-20 ජාත්‍යන්තර තරග පහක් ජයගත් පළමු රට බවට පත්වීමේ සුවිශේෂී කඩඉම ද පසු කළේය.

ලකුණු 169ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දු 17ක් ඉතිරිව තිබියදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 172ක් රැස් කරමින් තරගය ජය ගත්තේය. නායක කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 87ක් රැස් කරමින් පිත්තෙන් දැක්වූ විශිෂ්ට දස්කම ශ්‍රී ලංකා ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය විය.

මෙම ඉනිමත් සමඟ විස්සයි-20 ජාත්‍යන්තර තරග අංශයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා බවට පත්වීමට ද කුසල් මෙන්ඩිස් සමත් විය. මීට පෙර එම වාර්තාව හිමිව තිබුණේ පැතුම් නිස්සංකටය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු අටක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 168ක් පමණි. ආරම්භක පිතිකරු සහ නායක සහිබ්සාදා ෆර්හාන් පන්දු 47කදී හතරේ පහර හතක් සහ හයේ පහර තුනක් සමඟ ලකුණු 76ක් රැස් කරමින් පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. ඔහුගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් පාකිස්තානයට තරගකාරී ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ අවස්ථාවක් හිමි විය.

ෆර්හාන්ට අමතරව අරෆත් මින්හාස් පන්දු 20කදී නොදැවී ලකුණු 34ක් රැස් කළේ හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් සමඟිනි. කෙසේ වෙතත්, අනෙකුත් පිතිකරුවන්ට දිගු ඉනිම් ගොඩනැගීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා නොදීම හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමට අවසන් පන්දුවාරවලදී අපේක්ෂිත ලකුණු වේගය පවත්වා ගැනීමට නොහැකි විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් කැපී පෙනුණු දසුන් ශානක ලකුණු 21කට කඩුලු තුනක් දවාගත්තේය. නුවන් තුෂාර ලකුණු 38කට කඩුලු දෙකක් දවාගත් අතර, එෂාන් මාලිංග ද ලකුණු 38කට කඩුලු දෙකක් බිඳ හෙළීය. විජයකාන්ත් වියස්කාන්ත් එක් කඩුල්ලක් දවාගනිමින් සිය පන්දුවාර හතර ලකුණු 23කට සීමා කළේය. බිනුර ප්‍රනාන්දුට කඩුලු දවාගැනීමට නොහැකි වූ අතර, ඔහුගේ පන්දුවාර හතරේදී ලකුණු 45ක් ලබාගැනීමට පාකිස්තාන පිතිකරුවෝ සමත් වූහ.

ලකුණු 169ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකාවට ලහිරු උදාරගේ කඩුල්ල පළමු පන්දුවාර දෙක අවසන් වීමටත් පෙර අහිමි විය. ඔහු එක් ලකුණකට දැවී ගියේ විනිසුරුගේ දුර්වල තීරණය හේතුවෙනි. කඩුල්ල මුවා කිරීමේ වරදකට උදාර දැවී ගියේ යැයි ප්‍රධාන විනිසුරුගේ තීරණය අභියෝගය ලක් කිරීමට ආරම්භක පිතිකරුවා උත්සුක නොවීමේ අවාසිය ඔහු සතු වූවේය. අනතුරුව පිටියේ එක්වූ සිනෙත් ජයවර්ධන සහ කුසල් මෙන්ඩිස් පාකිස්තාන පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් ඉනිම ගොඩනැගූහ.

සිනෙත් ජයවර්ධන පන්දු 26කදී හතරේ පහර පහක් සහ හයේ පහර දෙකක් සමඟ ලකුණු 38ක් රැස් කළේය. ඔහු සහ කුසල් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු ලකුණු 59ක සම්බන්ධතාව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කරා යෑමට අවශ්‍ය පදනම සකස් කළේය. හත්වැනි පන්දුවාරය අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 74ක් දක්වා ඉහළ ගොස් තිබුණේ කඩුලු දෙකක් පමණක් දැවී තිබියදීය.

ජයවර්ධන දැවී යෑමෙන් පසුව කුසල් මෙන්ඩිස් සමඟ එක්වූ කමිඳු මෙන්ඩිස් ද ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වෙමින් පාකිස්තාන පන්දු යවන්නන්ට තවදුරටත් පීඩනයක් එල්ල කළේය. කුසල් පන්දු 48කදී හතරේ පහර නවයක් සහ හයේ පහර හතරක් සමඟ නොදැවී ලකුණු 87ක් රැස් කළේය. ඔහුගේ ලකුණු ලබාගැනීමේ වේගය 181.25ක් වූ අතර, ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණය කරා මෙහෙයවූ ඔහුගේ පිතිහරඹය තරගයේ කැපී පෙනෙන දස්කම විය.

අනෙක් අන්තයේ නොදැවී පන්දුවට පහරදුන් කමිඳු මෙන්ඩිස් පන්දු 27කදී හතරේ පහර හතරක් සමඟ ලකුණු 40ක් රැස් කළේය. තෙවැනි කඩුල්ල වෙනුවෙන් කුසල් සහ කමිඳු අතර ගොඩනැගුණු නොබිඳුණු ලකුණු 98ක සම්බන්ධතාව ශ්‍රී ලංකාවට පහසු ජයග්‍රහණයක් අත්කර දුන්නේය.

කුසල්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවට පහරදීමේදී දැක්වූ විශ්වාසයත්, පාකිස්තාන ඉනිමේදී පන්දු යවන්නන් දැක්වූ පාලනයත් මෙම ජයග්‍රහණයේ කැපී පෙනෙන අංග විය. පන්දුවාරයකට ලකුණු 10.01ක වේගයක් පවත්වා ගනිමින් ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව, තරගයේ වැඩි පාලනයක් සියතට ගෙන තිබූ බව අවසන් ප්‍රතිඵලයෙන් පැහැදිලි විය.

පාකිස්තානය – 168/8 (පන්දුවාර 20) – සහිබ්සාදා ෆර්හාන් 76, අරෆත් මින්හාස් නොදැවී 34, හසන් නවාස් 16, අබ්දුල් සමද් 15, ෆකාර් සමාන් 12, දසුන් ශානක 21/3, නුවන් තුෂාර 38/2, එෂාන් මාලිංග 38/2, විජයකාන්ත් වියස්කාන්ත් 23/1.

ශ්‍රී ලංකාව – 172/2 (පන්දුවාර 17.1) – කුසල් මෙන්ඩිස් නොදැවී 87, කමිඳු මෙන්ඩිස් නොදැවී 40, සිනෙත් ජයවර්ධන 38, ලහිරු උදාර 01, අරෆත් මින්හාස් 26/1, මොහොමඩ් ඉම්රාන් 31/1.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar