slc
logo
Home   |    News
ඔක්තෝබර් 29, 2026
පවන්ගේ ශතකයෙන් පණ ලැබූ ශ්‍රී ලංකා සටන අවසන් මොහොතේ බිඳ වැටෙයි

sinhala editor

පවන් රත්නායකගේ පිට පිට දෙවැනි ශතකයෙන් පණ ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව ජයග්‍රහණයක් වෙනුවෙන් ප්‍රබල සටනක නිරත වුවද, අවසන් මොහොතේදී කඩුලු පෙළ කඩා වැටීම හේතුවෙන් ලකුණු 55ක පරාජයක් අත්විඳීමට අද (29 දා) රාත්‍රියේදී සිදුවිය. පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ලාහෝර්හිදී පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 386ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 331ක් පමණි.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ බලාපොරොත්තු කරපින්නාගත් පවන් රත්නායක පන්දු 77කින් ලකුණු 118ක් රැස්කරමින් තවත් විශිෂ්ට ශතකයක් වාර්තා කළේය. එංගලන්තයට එරෙහිව මීට පෙර පැවැති තරගයේදී ද ලකුණු 130ක් රැස්කරමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගෙනදුන් පවන්, මෙවරත් සිය පිත්තෙන් එවැනිම පෙරළියක් කිරීමට උත්සාහ කළේය. එහෙත් ඔහුගේ ඉනිමට සෙසු පිතිකරුවන්ගෙන් ප්‍රමාණවත් සහායක් අවසන් මොහොතේදී නොලැබීම ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අහිමි කළේය.

එංගලන්තය ලබාදුන් දැවැන්ත ඉලක්කය හඹා යෑමේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ බලාපොරොත්තු තවදුරටත් රඳවාගැනීමට හැකිව තිබිණි. තරගයේ 43 වැනි පන්දුවාරය වන විට ශ්‍රී ලංකාවට පන්දු 46කින් ලකුණු 72ක් අවශ්‍යව තිබූ අතර, පවන් පිටියේ රැඳී සිටීම හේතුවෙන් තරගය දෙපිලටම විවෘතව පැවැතිණි.

එහෙත් හෙන්රි ක්‍රොකොම්බ්ගේ පන්දුවක් හමුවේ සහන් ආරච්චිගේ දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ කඩාවැටීම ආරම්භ විය. අනතුරුව දුනිත් වෙල්ලාලගේ දුවද්දී දැවී යාමකට හසුවීම ශ්‍රී ලංකාවට තවත් දැඩි පාඩුවක් විය. කඩුලු අතර දිව යෑමේදී ඇතිවූ අනවබෝධකාරී තත්ත්වයක් හේතුවෙන් වෙල්ලාලගේට සිය කඩුල්ල අහිමි වූ අතර, පවන්ට සහාය වීමට සිටි පිතිකරුවන්ගේ සංඛ්‍යාව ද වේගයෙන් අඩු විය.

අනතුරුව ලියම් ඩෝසන්ගේ පන්දුවකට ඉහළින් එල්ල කළ පහරකින් උඩපන්දුවක් ලබාදී පවන් රත්නායක ද දැවී යාමත් සමඟ ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තු බිඳ වැටුණි. අවසන් කඩුලු පහම ලකුණු 16ක් තුළ බිඳ වැටීමෙන් ශ්‍රී ලංකා ඉනිම 46 වැනි පන්දුවාරයේදී නිමාවට පත්විය.

නායක කුසල් මෙන්ඩිස් ද පවන් රත්නායක සමඟ එක්ව ශ්‍රී ලංකා ජයග්‍රාහී බලාපොරොත්තු ඉහළ නැංවීමට සමත් විය. පන්දු 71කට පමණක් මුහුණ දෙමින් ලකුණු 89ක් රැස්කළ කුසල්ගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් ඇතුළත් විය. අවිශ්ක ප්‍රනාන්දු සමඟ දෙවැනි කඩුල්ලට ලකුණු 84ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඔහු, අනතුරුව පවන් සමඟ තෙවැනි කඩුල්ලට තවත් ලකුණු 80ක් එක් කළේය. එහෙත් ජෝ රූට්ගේ පන්දුවක් හමුවේ ජෝර්ඩන් කොක්ස් අතට උඩපන්දුවක් ලබාදී දැවී ගිය කුසල්ට සිය ඉනිම ශතකයක් දක්වා ගෙන යෑමට නොහැකි විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔවුන් දෙදෙනාට අමතරව අවිශ්ක ප්‍රනාන්දු පන්දු 50කින් ලකුණු 48ක් රැස් කළේය. එහෙත් මැදපෙළ සහ අවසන් පෙළ පිතිකරුවන්ට තීරණාත්මක අවස්ථාවේදී ඉනිම ඉදිරියට ගෙන යෑමට නොහැකි විය.

එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලියම් ඩෝසන් පන්දුවාර 10කදී ලකුණු 49කට කඩුලු 4ක් දවාගනිමින් ශ්‍රී ලංකා පිතිකරණයේ තීරණාත්මක කඩාවැටීමට මුල් විය. මෙය ඔහුගේ එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින්ද සටහන් වූ අතර ඔහුට අමතරව සොනී බේකර් ද කඩුලු 2ක් බිඳ හෙළීය.

ඊට පෙර එංගලන්ත ඉනිමේ ප්‍රධානම බලවේගය වූයේ බෙන් ඩකට්ය. ඔහු පන්දු 132කින් ලකුණු 167ක් රැස්කරමින් සිය එක්දින ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය. ඩකට් සහ ආරම්භක පිතිකරු ටොම් බැන්ටන් පළමු කඩුල්ලට ලකුණු 163ක් එක් කළ අතර, බැන්ටන් ද අර්ධ ශතකයක් වාර්තා කළේය.

අනතුරුව හැරී බෘක් සමඟ එක්ව පන්දු 75කින් ලකුණු 107ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමට ඩකට් සමත් විය. එම සම්බන්ධතා දෙක හේතුවෙන් එංගලන්තය 38 වැනි පන්දුවාරය වන විට කඩුලු 2ක් දැවී ලකුණු 270ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය. එංගලන්තය ලකුණු 400 සීමාව ඉක්මවා යනු ඇතැයි පෙනුණ ද, අවසන් පන්දුවාර 10 තුළදී ලකුණු 94කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු ලකුණු 63කට කඩුලු 2ක් දවාගත්තේය. එහෙත් එංගලන්ත පිතිකරුවන්ගේ ප්‍රහාරාත්මක ඉනිම හමුවේ ලකුණු 387ක ඉලක්කයක් හඹා යෑමට සිදුවීම ශ්‍රී ලංකාවට අභියෝගයක් විය.

පවන් රත්නායකගේ පිට පිට දෙවැනි ශතකය ශ්‍රී ලංකා පිතිකරණයේ සටන්කාමීත්වය මැනවින් විදහා දැක්වුවද, තීරණාත්මක අවස්ථාවේදී කඩුලු රැකගැනීමට නොහැකි වීමෙන් එම දක්ෂතාව ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි විය.

එංගලන්තය පන්දුවාර 50 කදී කඩුලු 5ක් දැවී ලකුණු 386 යි – බෙන් ඩකට් 167, ටොම් බැන්ටන් 74, හැරී බෘෘක් 44, විල් ජැක්ස් 30, ජෝර්ඩ්න් කොක්ස් 43, සෑම් කරන් 21*, අසිත ප්‍රනාන්දු 63/2, ඩිල්ෂාන් මදුශංක 64/1, එෂාන් මාලිංග 101/1? දසුන් ශානක 49/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 45.1 කදී සියලු දෙනා දැවී ලකුණු 331 යි – පවන් රත්නායක 118, කුසල් මෙන්ඩිස් 89, අවිශ්ක ප්‍රනාන්දු 48, ජනිත් ලියනගේ 27, සහන් ආරච්චිගේ 30, කමිදු මෙන්ඩිස් 04, දසුන් ශානක 04, දුනිත් වෙල්ලාලගේ 01, එෂාන් මාලිංග 01, අසිත ප්‍රනාන්දු 01, ඩිල්ෂාන් මදුශංක 00, ලියම් ඩෝසන් 49/4, හෙන් ක්‍රොෙකාම්බේ 27/1, සොනී බේකර් 75/2, සෑම් කරන් 44/1

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee